හැබැයි මේ දවස්වල ජපානයේ ලොකු නගරයක් එකම එක වලසෙක් නිසා සම්පූර්ණයෙන්ම කණපිට පෙරළිලා!
ඔව්, ඔයාට ඇහුණා හරි... එක වලසෙක්ගේ වැඩකිඩ නිසා පාසල් 100කට ආසන්න ප්‍රමාණයක් එකපාරටම වහලා දාන්න ජපන් බලධාරීන්ට සිද්ධ වෙලා තියෙනවා.
ටෝකියෝ නුවරට උතුරින් තියෙන, පන්ලක්ෂ දසදහසකට වැඩි සෙනඟක් ජීවත් වෙන Utsunomiya කියන නගරයේ තමයි මේ වලස් භීතිකාව පැතිරිලා තියෙන්නේ. පහුගිය දවස් තුනේම මේ වලසා නගරයේ වීදි පුරා රජා වගේ ඇවිදලා. ගෙවල් කිට්ටුව, ෂොපින් මෝල් ගාව, පාර්ක්වල වගේම ඉස්කෝල කිට්ටුවත් මෙයා කරක් ගහනවා මිනිස්සු දැකලා තියෙනවා.
මේ නිසා දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලා, පූර්ව ආරක්ෂණ පියවරක් විදිහට නගරයේ තියෙන රජයේ ප්‍රාථමික සහ කනිෂ්ඨ විද්‍යාල 94ක්ම වහලා දාන්න බලධාරීන් තීරණය කරලා.
දැන් මේ වලසාව අල්ලන්න දඩයක්කාරයෝ, පොලිසිය වගේම ප්‍රාදේශීය නිලධාරීන් එකතු වෙලා දැවැන්ත මෙහෙයුමක් දියත් කරලයි තියෙන්නේ. නිවේදන රථ මගින් ජනතාවට කියන්නේ "පුළුවන් තරම් ගෙවල්වලටම වෙලා පරිස්සමෙන් ඉන්න" කියලයි.
මිනිස්සු දැකලා තියෙන විදිහට මේ වලසා මීටරයක් විතර දිගයිලු. හැබැයි මේ ඇවිදින්නේ එකම වලහද, නැත්නම් වලස්සු කට්ටියක්ද කියලා තවම හරියටම තහවුරු වෙලා නැහැ.
මේ සිද්ධියට දවස් කිහිපයකට කලින් ෆුකුෂීමා නගරයෙත් වලසෙක් හතරදෙනෙක්ට පහර දීලා තිබුණා. කර්මාන්තශාලාවක CCTV වල සටහන් වෙලා තිබුණේ වලහෙක් මිනිහෙක් පස්සේ පන්නගෙන ගිහින් බිම ඇදගෙන වැටෙන හැටි. පුදුමේ කියන්නේ ඒ වලහා ටැප් ඇරලා වතුර බොන්න වගේම, ලොක් කරපු ජනෙල් තනියම අරින්නත් දන්නවාලු! ඌ හරිම බුද්ධිමත් සතෙක් කියලා තමයි නගරාධිපතිවරයා පවා කියන්නේ.
දේශගුණික විපර්යාස නිසා කැලෑවල වලසුන්ගේ කෑම ජාති හිඟවීම තමයි මේකට ප්‍රධානම හේතුව. බඩගින්න ඉවසන්න බැරුව කුසගින්නේ ඉන්න වලස්සු කෑම හොයාගෙන මේ විදිහට නගරවලට කඩා පනිනවා. ඒ මදිවට ගම්බද පළාත්වල මිනිස්සු අඩුවෙලා වගා බිම් කැලෑ බවට පත්වීමත් මුන්ට ගම් වදින්න ලේසි වෙලා තියෙනවා.
වලස්සුන්ගේ මේ කරදරේ කොච්චර දරුණුද කියනවා නම්, මිනිස්සු ඉන්න පළාත්වල වුණත් හදිසියකදී ගිනිඅවි පාවිච්චි කරන්න අවසර ලැබෙන විදිහට ජපන් රජය එයාලගේ තදබල ගිනිඅවි නීති පවා ළඟදී වෙනස් කළා.
පහුගිය අවුරුද්දේ විතරක් ජපානය පුරා වලස්සු ගැවසුණු අවස්ථා 50,000කට වඩා වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම 2024 වසරේදී විතරක් වලස් ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙක් මියගිහින්. ඒක ජපන් ඉතිහාසයේ වලස් ප්‍රහාරයකින් වාර්තා වුණු වැඩිම මරණ ගාණයි.
කොහොම වුණත්, මේ දවස්වල නම් ජපානේ ඉන්න අයට පාරට බහින්න වෙලා තියෙන්නේ දෙපාරක් නෙවෙයි, සියපාරක් විතර හිතලා බලලයි!