තායිලන්තයේ රජ මාලිගයෙන් පසුගියදා ඇහුණේ මුළු රටම කඳුළු සාගරයක ගිල්වපු දුක්බර ආරංචියක්.
ඒ තමයි තායිලන්ත ජනතාවගේ ආදරය නොඅඩුව දිනාගෙන හිටපු, අනාගතයේදී තායිලන්තයේ කිරුළ දරාවි යැයි බොහෝ දෙනා රහසින් බලාපොරොත්තු තියාගෙන හිටපු මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් දියණිය, බජ්රකිටියාභා මහිදොල් කුමරියගේ අකල් වියෝව. මියයන විට ඇයගේ වයස අවුරුදු 47ක්.
මේ කතාවේ මුල පටන් ගන්නේ මීට වසර හතරකට කලින්, ඒ කියන්නේ 2022 අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී. කුමරිය තමන්ගේ සුරතල් සුනඛයින්ව පුහුණු කරමින් ඉන්න අතරතුරේදී තමයි කාටවත් නොහිතපු විදිහට ඇයට දරුණු හෘදයාබාධයක් එන්නේ. එතැන් පටන් ඇය ජීවිතයත් මරණයත් අතර සටනක් කළේ දැඩි සත්කාර ඒකකයේ කෝමා තත්ත්වයෙන්.
රජ මාලිගයෙන් ඇයගේ තත්ත්වය ගැන තොරතුරු එළියට දුන්නේ බොහොම පරිස්සමට සහ කලාතුරකින්. ඒ නිසා කුමරියට ඇත්තටම මොකද වුණේ කියන එක ගැන ලෝකය පුරාම විවිධ කටකතා පැතිරුණා.
කොහොම වුණත්, මේ මැයි මාසේ මුල වෙද්දී තත්ත්වය ගොඩක් දරුණු අතට හැරුණා. කුමරියගේ ශරීරයේ ඉන්ද්‍රියයන් කිහිපයකම දරුණු ආසාදන ඇති වෙලා, හෘද ස්පන්දනය පාලනය කරන්න බැරි තරමටම වෛද්‍යවරුන් අසරණ වුණා. උදරයේ සහ බඩවැල්වල ආසාදන නිසා රුධිර පීඩනයත් බැහැලා, අවසාන කාලයේදී ඇයගේ හුස්ම ටිකයි, වකුගඩුවල වැඩකටයුතුයි සම්පූර්ණයෙන්ම වගේ රඳා පැවතුණේ වෛද්‍ය උපකරණ මතයි. අවසානයේ වසර හතරකට ආසන්න කාලයක් කරපු ඒ දැවැන්ත ජීවිත සටන නිමා කරමින් ඇය සඳහටම දෑස් පියාගත්තා.
1978 ඉපදුණු බජ්රකිටියාභා කුමරිය කියන්නේ නිකම්ම නිකන් මාලිගාවට වෙලා හිටපු කුමරියක් නෙවෙයි. ඇය ඇමරිකාවේ සුප්‍රසිද්ධ කෝනෙල් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පවා ලබාගත්ත දැවැන්ත මොළකාරියක්.
ඔස්ට්‍රියාවේ තායිලන්ත තානාපතිවරිය ලෙස කටයුතු කළා.
තායිලන්ත නීතිපති කාර්යාලයේ සහ රාජකීය ආරක්ෂක බලකායේ ඉහළ තනතුරු දැරුවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ සුහදතා තානාපතිවරියක ලෙස කාන්තා සිරකාරියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තරයේ හඬක් නැඟුවා.
"තායිලන්ත ඉතිහාසයේ කවදාවත් කාන්තාවක් රට පාලනය කරලා නැති වුණත්, ඊළඟට කිරුළ දරන්න සුදුසුම කෙනා ඇය බවටයි බොහෝ දෙනා විශ්වාස කළේ."
කුමරියගේ මරණයත් එක්ක දැන් තායිලන්ත දේශපාලනය ඇතුළේ ලොකු ගිනිකන්දක් පුපුරන්නයි යන්නේ. මහා වජිරලොන්කෝන් රජතුමා හතර වතාවක් විවාහ වෙලා දරුවන් හත්දෙනෙක් හිටියත්, නිල වශයෙන් රාජකීය පදවි නාමයන් තියෙන්නේ මේ මියගිය කුමරිය ඇතුළු දරුවන් තුන්දෙනෙකුට විතරයි. ඒ අයගෙන් කැපී පෙනෙනම චරිතය වුණේ ඇයයි.
තායිලන්තයේ තියෙන දැඩි රාජද්‍රෝහී නීති නිසා රජ පවුල ගැන ප්‍රසිද්ධියේ කතා කරන අයට අවුරුදු 15ක හිර දඬුවම් විඳින්න වෙනවා. ඒ නිසා මිනිස්සු මේ ගැන ප්‍රසිද්ධියේ කතා නොකළත්, මීළඟ අනුප්‍රාප්තිකයා කවුද කියන ප්‍රශ්නය දැන් රහසින් හැමතැනම කතාබහට ලක්වෙනවා. විදේශීය දේශපාලන විචාරකයන් නම් කියන්නේ 'භා කුමරියගේ' මේ අකල් වියෝව තායිලන්තයේ අනාගත දේශපාලන සහ රාජකීය ස්ථාවරත්වයට එල්ල කරපු මාරාන්තික ප්‍රහාරයක් කියලයි.
ඉදිරියේදී තායිලන්ත කිරුළ වටා ගෙතෙන බල අරගලය කොයි වගේ වේවිද කියලා මුළු ලෝකයම දැන් බලාගෙනයි ඉන්නේ!