මේ කතාව අහන ඕනෑම කෙනෙකුගේ ඇසට කඳුළක් එන තරමටම සංවේදියි.
සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය මාර්තු 23 වෙනිදා බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේදීයි. 11 වසරේ ඉගෙනුම ලබන මේ දැරිය පාසලේ විද්‍යාගාරය ඇතුළේ පරීක්ෂණයක් කරමින් ඉන්න අතරතුරේදී තමයි මේ අවාසනාවන්ත අනතුරට මුහුණ දීලා තියෙන්නේ. අනතුරින් දැරියගේ මුහුණට වගේම වම් අතට සහ දකුණු අතටත් දරුණු විදිහට පිළිස්සුම් තුවාල වෙලා.
මේ ගැන මාධ්‍යයට අදහස් දක්වපු දැරියගේ මව වන මල්ලිකා අත්තනායක මහත්මිය කියන්නේ හද කම්පා කරවන කතාවක්.
"මගේ දරුවට ගොඩක් පිළිස්සුම් තුවාල තියෙනවා. ඉස්කෝලෙන් ඒගොල්ලෝ බණ්ඩාරවෙල ඉස්පිරිතාලෙට අරගෙන ගිහිල්ලා තමයි මට කෝල් කරලා කිව්වේ... දුව මගෙන් අහනවා 'අම්මේ මගේ මූණ හැමදාම මෙහෙමද තියෙන්නේ' කියලා..."
මේ අනතුර නිසා දැරියගේ මුහුණට සහ අත්වලට දැඩි හානි සිදුවෙලා තිබුණත්, මේ පුංචි දියණියගේ හිතේ තියෙන ධෛර්යය නම් ටිකක්වත් අඩුවෙලා නැහැ. කොතරම් වේදනාවක් දැනුණත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට කොහොම හරි මුහුණ දෙනවා කියන දැඩි අධිෂ්ඨානයෙන් ඇය පසුවන බවයි මව සංවේදීව කියා සිටියේ.
මේ කම්පනය දනවන සිදුවීම ගැන ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මේ සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.
"දරුවා රෝහල්ගත කරලා හිටපු නිසා අපිට ඒ ළමයාගෙන් කටඋත්තරයක් ගන්න බැරි වුණා. කටඋත්තරේ ලැබුණු වහාම අපි ඒ අනුව කටයුතු කරගෙන යනවා."
ඒ වගේම, මේ දිරිය දැරියගේ O/L හීනය හැබෑ කරගන්න උදව්වක් විදිහට, ඇයට විභාගයට මුහුණ දීමට හැකි වන පරිදි නිවසටම ගොස් හෝ අවශ්‍ය ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙස පළාත් ආණ්ඩුකාරවරයා විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට මේ වනවිටත් විශේෂ උපදෙස් ලබා දී තිබෙනවා.