ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම වාර්තාවලට අනුව, ඊයේ (21) දිනය තුළ පමණක් මෙරටින් අලුතින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ දිනක් ඇතුළත ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව 1,000 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙය බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා තහවුරු කළා.
අඛණ්ඩව පවතින වැසි තත්ත්වය හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ වන විට මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,000 සීමාව ද ඉක්මවා ගොස් තිබේ.
මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ මේ ගෙවී යන ජූනි මාසය තුළ පමණක් රෝගීන් 12,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබීමයි. ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ බස්නාහිර සහ දකුණු පළාත්වලින් බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ රෝගීන් වාර්තා වීමේ මෙම වේගය තවදුරටත් වර්ධනය වුවහොත්, ඉදිරියේදී රෝහල් ධාරිතාවලට (Hospital Capacity) ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි.
යම් හෙයකින් ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට උණ රෝග ලක්ෂණ පවතී නම්, සාමාන්‍ය උණක් යැයි සිතා නොසලකා හරින්නේ නැතිව වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. එමෙන්ම තමන් ජීවත් වන නිවස, වටපිටාව සහ කාර්යාල පරිශ්‍රයන්හි වතුර රැඳෙන ස්ථාන ශුද්ධ පවිත්‍ර කර තබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.