ඒ මෙම වසර සඳහා වන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 03 වැනිදා සිට ක්‍රියාත්මක වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කිරීමත් සමඟයි.
සාමාන්‍යයෙන් සෑම වසරකම ජූලි 01 වැනිදා සිට මෙම සංශෝධනය සිදු වුවද, ජූලි මාසය ආරම්භයේදී සිදුවීමට නියමිත "මාසික ඉන්ධන මිල සංශෝධනය" දෙස බලා තීරණයක් ගැනීම සඳහා මෙවර එය දින දෙකකින් ප්‍රමාද කිරීමට බස් සංගම් තීරණය කර තිබේ.
මේ දිනවල ඉන්ධන මිල අඩු වීමේ ප්‍රවණතාවක් පැවතුණත්, බස් මගීන්ට නම් ඉන් සහනයක් ලැබෙන පාටක් නැහැ. ඉදිරියේදී සිදුවන මිල සංශෝධනයේදී ඩීසල් මිල අඩු වුවද, ඉදිරි මාස 6ක කාලය සඳහා බස් ගාස්තු අඩු කිරීමට පෞද්ගලික බස් රථ ක්‍රියාකරුවන් කිසිසේත්ම සූදානම් නොමැති බව ගැමුණු විජේරත්න මහතා ඍජුවම අවධාරණය කරනවා.
වත්මන් බස් කර්මාන්තය මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය ඊට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.
"ජුනි පළමුවැනිදා සිට මේ දක්වා අපි ඩීසල් ලීටරයකින් රුපියල් 25ක පමණ පාඩුවක් ලබමින් බස් ධාවනය කළේ. ඒ නිසා සමස්ත කර්මාන්තයට බිලියන ගණනක අලාභයක් වෙලා තියෙනවා. ඩීසල් මිල අඩු වුණොත් ඒ සහනය බස් හිමියන්ට ලැබෙන්න ඕනේ. වෙච්ච පාඩුව පියවා ගන්න අපිට මාස 6ක්වත් යනවා.." යැයි සභාපතිවරයා සඳහන් කළේය.
ඩීසල් මිල අඩු වන සෑම අවස්ථාවකම බස් ගාස්තු ද වහාම අඩු කළ යුතු බවට කිසිදු නීතිමය හෝ ප්‍රතිපත්තිමය ප්‍රතිපාදනයක් නොමැති බවයි ඔහු පවසන්නේ. එමෙන්ම, තමන් ප්‍රකාශ කළ මෙම දැඩි ස්ථාවරයට අකමැති හෝ විරුද්ධ ඕනෑම අයෙකුට ඊට එරෙහිව අභියෝග කළ හැකි බව ද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා.
ඉදිරි දින කිහිපය ඇතුළත ඉන්ධන මිල සංශෝධනයත් සමඟම බස් ගාස්තු සම්බන්ධයෙන් අවසන් තීරණය කුමක් වේදැයි බස් සංගම් මෙන්ම මගී ජනතාව ද දැඩි අවධානයකින් පසුවනවා.