ටෝකියෝ හි 'කිතා' (Kita Ward) දිස්ත්‍රික්කයේ පිහිටි සිව්මහල් පාසල් ගොඩනැගිල්ලක සිව්වැනි මහලේ, සංගීත කාමරය අසලින් මෙම ගින්න හටගෙන තිබෙන්නේ සිසුන් පන්ති කාමරවල ඉගෙනුම ලබමින් සිටි අවස්ථාවකයි. ගින්නත් සමඟ ඇති වූ අධික දුම් පටල හේතුවෙන් එහි සිටි පිරිස දැඩි කලබලයට පත්ව ඇති බව සඳහන්.
ගින්න පැතිර යාමත් සමඟ ක්‍රියාත්මක වූ ජපාන සහන සේවා සහ ගිනි නිවන අංශ වහාම මැදිහත් වී පාසලේ සිටි සිසුන් සහ ගුරුවරුන් ඇතුළු 300කට අධික පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ගිනි නිවන භටයන් විසින් ගොඩනැගිල්ල ඇතුළත සිරවී සිටි සිසුන් තිදෙනෙකු සහ එක් ගුරුවරයෙකු ඉණිමං ආධාරයෙන් නිරුපද්‍රිතව බේරාගත් බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ 10 දෙනා අතර කුඩා සිසුන් 8 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු වන අතර, ඔවුන්ගෙන් බහුතරයක් දුම් ආග්‍රහණය වීම නිසා ඇතිවූ ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. එක් සිසුවකු ඉවත් වීමට යාමේදී ඇද වැටී අස්ථි බිඳීමකට ලක්ව ඇති බවද වාර්තා වනවා.
ගින්න හට ගැනීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ටෝකියෝ පොලිසිය සහ ගිනි නිවන දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.