කොත්මලේ ගාමිණි දිසානායක ජාතික පාසලේ අද (19) දින සංවිධානය කර තිබූ ඩෙංගු මර්ධන ශ්‍රමදාන වැඩසටහනක් අතරතුරදී, පාසල් භූමියේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තිබෙනවා. මෙලෙස ඇවිස්සුණු බඹරුන් එහි සිටි පිරිසට දරුණු ලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
බඹර ප්‍රහාරය හේතුවෙන් පාසල් ළමුන් 07 දෙනෙකු සහ සිසුන්ගේ මව්වරුන් දෙදෙනෙකු බඹර දෂ්ටනයට ලක්ව තුවාල ලබා ඇති අතර, ඔවුන්ව වහාම ක්‍රියාත්මක වූ පිරිස විසින් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මඟින් කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ කොත්මලේ පොලිසියේ නිලධාරීන්, දෙමාපියන් සහ පාසලේ ගුරුවරුන් එක්ව පාසල තුළ විශාල ගිනිමැලයක් දල්වා, දුම් ගැසීම මඟින් ඇවිස්සුණු බඹරුන් පළවා හැර තත්ත්වය පාලනය කිරීමට සමත්ව තිබෙනවා.
රෝහල්ගත කළ සිසුන් සහ මව්වරුන් මේ වන විට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවනවා.