විදුලි බිල අඩු කරගන්න විතරක් නෙවෙයි, අමතර ආදායමක් ගන්නත් පුළුවන් කියන ආරංචියත් එක්ක දැන් හැම ගෙදරකම වහලෙ උඩ සූර්ය පැනල පිරිලා. හැබැයි මේකේ යටි පැත්ත ගැනත් ඔබ හරියටම දන්නවාද? ලක්ෂ ගණනක් ආයෝජනය කරන්න කලින් මේ දේවල් දැනගන්නම ඕනේ!
ඔන්න දැනගන්න ඕන රහස් 5ක්,
1. අනුමැතිය නැතුව වැඩේට බැහැන්න එපා!
"මම නිකන් බඩු ටික අරන් ගහගන්නවා" කියලා හිතාගෙන හිටියා නම් අමතක කරන්න. ජාතික විදුලි ජාලයට සම්බන්ධ වෙන්න කලින් අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් අනුමැතිය ගන්න ඕනේ. වැඩේ ඉවර වුණාම වරලත් ඉංජිනේරුවරයෙක්ගෙන් "මේක හරියට සවි කරලා තියෙන්නේ" කියලා සහතිකයක් ගන්නත් අමතක කරන්න එපා.
2. වහලේ බර ඉවසන්න පුළුවන්ද?
ඔය ලේසි පහසු වැඩක් නෙවෙයි! එක පැනලයක බර කිලෝ ග්‍රෑම් 23ක් විතර වෙනවා. කිලෝ වොට් 2ක පද්ධතියක් ගැහුවොත් ඔයාගේ වහලේ උඩ කිලෝ ග්‍රෑම් 138ක විතර බරක් තමයි රැඳෙන්නේ. වහල උඩ ගස් වැල් නිසා සෙවනැලි වැටෙනවා නම් වැඩේ අවුල්. ඒ නිසා වහලේ ශක්තිමත් බව සහ අව්ව ලැබෙන හැටි ගැන දෙපාරක් හිතන්න.
3. හොර ආයතනවලට අහුවෙන්න එපා!
"අඩුවට කරලා දෙනවා" කියලා අන්තර්ජාලේ දාන හැම දැන්වීමක්ම විශ්වාස කරන්න එපා. ඒක නිසාම අමාරුවේ වැටුණ පිරිසක් ඉන්නවා. සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි ආයතනයක්ම තෝරගන්න. එතකොට තමයි ඔයාගේ සල්ලිවලට සහ අනාගතයට ආරක්ෂාවක් තියෙන්නේ.
4. "A" වර්ගයේ පැනල සහ වගකීම් සහතිකය!
මිලදී ගන්නා පැනල සහ ඉන්වෙන්ටර් (Inverter) සඳහා අවම වශයෙන් වසර 10-25ක වගකීම් කාලයක් තියෙනවාද කියලා බලන්න. ඒ විතරක් නෙවෙයි, "A" වර්ගයේ පැනලම තෝරගන්න. නඩත්තු කටයුතු ගැනත් පැහැදිලි සහතිකයක් ගන්න අමතක කරන්න එපා.
5. මාසික ආදායම ගන්න විදිහ!
ඔයා පාවිච්චි කරන ඒකක ගණනට සමානව විදුලිය උත්පාදනය කරනවා නම් ඒක නෙට් මීටරින්. ඒත් ඔයාට ආදායමක් ගන්න ඕනේ නම්, වැඩිපුර නිෂ්පාදනය කරන විදුලිය විදුලිබල මණ්ඩලයට විකුණන්න පුළුවන්. ඒකට රුපියල් 22ක් වගේ මුදලක් ඒකකයකට ලැබෙනවා. ඒත් පරිස්සමෙන්, මේක පටන් ගන්න කලින් හරියටම ගණන් හදාගන්න!
ලක්ෂ 5ක් විතර වියදම් කරලා රුපියල් 22ක ලාභයක් ගන්න දඟලනවා නම්, ඒක ආයෝජනයක් විදිහට හරියටම කරගන්න. නැත්නම් "සෝලා" ගැහුවට පස්සේ බිල අඩු වෙනවා වෙනුවට කරදර වැඩි වෙන්නත් පුළුවන්! ඒ නිසා වැඩේ පටන් ගන්න කලින් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වෙබ් අඩවියට ගිහින් හරි තැනක්ම හොයාගන්න!