කිසිදා දැක නොතිබූ පවුලක උපන් මල් කැකුළක් වෙනුවෙන් ආදරය සහ කරුණාව මුදාහළ මේ අපූරු කතාව මීට වසර කිහිපයකට ඉහතදී ඇසුණත්, අදටත් මෙය සමාජමාධ්‍ය තුළ කතාබහ වෙනවා.
කාගේත් අවදානය දිනාගත්ත ඒ සිදුවීම වුණේ මෙන්න මෙහෙමෙයි, එදා ජෝර්ජියා ප්‍රාන්තයේ රෝහලකදී "කේසන්" (Cason) නම් මල්කැකුළ මෙලොව එලිය දුටු අතර, එම සතුටුදායක පුවත තම ඥාතීන්ට දැනුම්දීමට මිත්තණිය උත්සාහ කළා. එහිදී ඇයට සමූහ කෙටි පණිවිඩයක් (Group Text) යැවීමේදී එක් දුරකථන අංකයක එක් ඉලක්කමක් වැරදී තිබුණා.
ඒ අනුව එම පණිවිඩය ලැබුණේ ඇය හඳුනන ඥාතියාට නොව, ඩියෝරික් විලියම්ස් (Deorick Williams) සහ ඔහුගේ සහෝදරයා වන ඩෙනිස් (Dennis) යන තරුණයන් දෙදෙනාගේ ජංගම දුරකථනයටයි.
පළමු පණිවිඩයෙන් කියවුණේ, "අපි දැන් ඉන්නේ හොස්පිට්ල් එකේ. අද බබෙක් හම්බෙනවා!" යන්නයි.
සාමාන්‍යයෙන් අපට මෙවැනි පණිවිඩයක් ලැබුණහොත් අප එය මඟහරින්නට හෝ "වැරදි අංකයක්" (Wrong number) යැයි පවසා නිහඬ වන්නට ඉඩ තිබුණා. නමුත් ඩෙනිස් සහ ඩියෝරික් කළේ වෙනස් වැඩක්. ඔවුන් වහාම ප්‍රතිචාර දක්වමින්, "සුබ පැතුම්! හැබැයි කාට හරි නම්බර් එක වැරදිලා වගෙයි" යනුවෙන් පිළිතුරු පණිවිඩයක් යැවීමට තරම් ඒ දෙදෙනා කාරුණික වුණා.
කෙසේ වෙතත්, මිත්තණියට එය නිසි ලෙස වැටහීමට පෙර ඇය අලුත උපන් කේසන් වඩාගෙන සිටින මවගේ ඡායාරූපයක් ද සමග ඒ මල් කැකුළගේ බර සඳහන් කර නැවතත් පණිවිඩයක් එවා තිබුණා.
එම සුරතල් රුව දුටු තරුණයන් දෙදෙනා සිද්ධියෙන් විනෝදයක් ලබනවා වෙනුවට, එයට සංවේදී වුණා. "අපි ඔයාලව අඳුරන්නේ නැහැ තමයි, හැබැයි මායි මගේ මල්ලිලා කට්ටියයි, බබාව බලලා ෆොටෝ එකක් ගන්න එනවා" යැයි ඔවුන් පෙරළා පණිවිඩයක් යැව්වා. පසුව ඔවුන් මිත්තණියගෙන් තොරතුරු විමසා, ඔවුන් සිටින්නේ බේන්බ්‍රිජ් (Bainbridge) රෝහලේ බව දැනගත්තා.
තරුණයන් දෙදෙනා තම වචනය එලෙසින්ම ඉටු කළා. ඔවුන් වහාම ක්‍රියාත්මක වී වෙළඳපොළෙන් අවශ්‍ය සූප්පු (pacifiers), කිරි බෝතල්, ඩයපර් සහ තවත් කුඩා තෑගි බෝග කිහිපයක් මිලදී ගෙන, තම නිවසේ සිට සැතපුම් 40ක් පමණ දුර ගෙවාගෙන රෝහල වෙත පැමිණියේ මේ පුංචි අමුත්තා බලන්නමයි..
තමන් කිසි දිනක දැක නොමැති, වැරදීමකින් පණිවිඩය ගිය නන්නාඳුනන තරුණයන් දෙදෙනෙකු දෑත පුරා තෑගි අතැතිව තම වාට්ටුව ඉදිරියේ සිටගෙන සිටිනු දැක අලුත උපන් රොසමලගේ මව්පියන් වන මාර්ක් සහ ලින්ඩ්සේ දැඩි ලෙස මවිතයට පත්වුණා.
තරුණයන් දෙදෙනා ඉතා ලෙන්ගතුව දෙමාපියන් වැළඳගෙන සුබ පතා, බිළිඳා වෙනුවෙන් ගෙනා තෑගි පිරිනැමුවා. පසුව ඔවුන් දෙමාපියන් සමග ඉතා සතුටින් ඡායාරූපයකට ද පෙනී සිටියේ මේ සිද්ධිය ඔවුන්ගේ ජීවිතයේ සදාතනික මතකයක් කරගැනීම අධිටනින් වෙන්න ඇති..