ඔන්න ඒ වගේ හැමෝටම ආදර්ශයක් දෙමින්, තමන් මුලින්ම අකුරු කරපු ගමේ පාසලට වසර ගණනාවකට පස්සේ ගිහින්, තමන්ගේ අතීත මතකයන් ආදරයෙන් අවදි කරපු නිලුෂි පවන්‍යාගේ අපූරු පුවතක් සමාජ මාධ්‍යයේ කාගේත් අවධානය දිනාගෙන තිබෙනවා.
ඇය පසුගියදා ඇගේ මුහුණු පොතට එකතු කර තිබුණේ ඇස්වලට කඳුළු උනන තරමේ සුන්දර, කෘතගුණ පූර්වක සටහනක්.
"නිලුෂි පවන්‍යා" කියන ඒ චරිතයේ ජීවිතය වෙනස් වෙන්න, පොතේ ඉගෙනීම වගේම හොඳ ගුණ දහම් කියා දෙන්න මුල්ම අඩිතාලම දාලා තියෙන්නේ පූ/ළිහිණිගිරි කණිෂ්ට විද්‍යාලයයි. වසර ගණනාවකට පස්සේ නැවතත් ඒ පාසල් මෑණියන්ගේ සෙවනට පියනඟද්දීම ඇයට දැනී ඇත්තේ අමුතුම හැඟීමක්.
"පොත් අරන් ගස් යට උගන්වද්දී, පොතේ දැනුම විතරක් නෙවෙයි, ආගම, ජීවිතය, හොඳ ගුණ දහම් කියලා දුන්නා මට මතකයි. ඒ කාලයට මං හරිම ආසයි..."
ඇය තමන්ගේ ආදරණීය ගුරු මාතාවක් ගැන මතකය අවදි කරමින් එලෙස සටහන් කර තිබුණා. ඉගෙනීමට අමතරව, "සැබෑ මනුස්සයෙක්" කියන්නේ කාටද කියා තමන්ට කියා දුන් සියලුම ගුරු මව්පියන්ට ඇය ඇගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා.
පාසලේ ආරාධනාවකට අනුව නිලන්ති මිස් සහ සමන්ත සර්ව මුණගැහෙන්න ආපු ඇයට, අද පාසල ලස්සනට දියුණු වෙලා තියෙනවා දකිද්දී ලැබිලා තියෙන්නේ නිම්හිම් නැති සතුටක්.
පරම්පරා තුනක මතකයන් රැඳුණු ඒ පාසල් භූමිය පුරා ඇවිදිද්දී පරණ මතකයන් සියල්ලම එකින් එක මැවී පෙනුණත්, ඒ හැමදේම විඳින්න කාලය මදි වුණු බවයි ඇය පවසන්නේ.
තමන්ව නිර්මාණය කරපු තමන්ගේ ගමේ පාසලට නිලුෂි දක්වන මේ ගෞරවය සහ ආදරය ඇත්තටම අද කාලේ හැමෝටම ලොකු ආදර්ශයක්. ඇයගේ මේ සුන්දර මතක සටහනට සමාජ මාධ්‍ය හරහා ගොඩක් දෙනෙක් ආදරණීය ප්‍රතිචාර එකතු කරමින් සිටිනවා.
