හැබැයි අන්න ඒ වගේ ආශ්චර්යයක් තමන්ගේ ඇස් දෙකෙන්ම දැකලා, සතුට වැඩි කමට ඇඬුම් ආපු අපූරු පුවතක් දේශපාලන කරළියෙන් වාර්තා වෙනවා. මේ කතාව කියන්නේ වෙන කවුරුත් නෙවෙයි, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා.
මෙරට පොදු ප්‍රවාහන සේවය ඩිජිටල්කරණය කරලා, ජංගම යෙදවුම් (Apps) හරහා බස් රථ නියමිත වේලාවට ධාවනය කරවීමේ අලුත් තාක්ෂණික වෙනස ගැන ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි මේ බව පවසන්නේ.
තමන්ගේ ළමා කාලය සිහිපත් කරන නියෝජ්‍ය අමාත්‍යවරයා කියන්නේ, මීට අවුරුදු 32කට කලින් (1994දී) තමන්ට වයස අවුරුදු 10ක් කාලේ බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් (Liverpool) නගරයේ ජීවත් වුණු බවයි. එහේ බස් හෝල්ට් එකට හරියටම වෙලාවට බස් එක එන හැටි, කුණු ලොරිය, කිරි ලොරිය වෙලාවට එන හැටි එදා අත්විඳපු චතුරංග, ඒ දේ ලංකාවෙත් දකින්න හැමදාම හීන දැකලා තියෙනවා.
ඔන්න ඉතින් මේ සතියේ අමාත්‍යවරයා හන්දියට ගිය වෙලාවේ, ෆෝන් එකේ ඇප් (App) එකේ දාලා තිබ්බ වෙලාවටම බස් එක ඇස් පනාපිටම ඇවිත්!
"සතුටුයි, ගොඩක් සතුටුයි.. කඳුළුත් එනවා.. අපි හරිම පොඩි මිනිස්සු.. අපිට පොඩිම පොඩි හීනම විතරයි තිබ්බේ.. ඒ මහා සමාජය වෙනුවෙන් දැක්ක හීන.. මහා දැවැන්ත මිනිස්සුන්ට අපේ රට පාලනය කරල කරගන්න බැරි වෙච්ච පොඩි මිනිසුන්ගේ පොඩි හීන අපි එක එක යතාර්තයක් කරන්නම්."
දේශපාලන ලෝකයේ මීට කලින් හිටපු "මහා දැවැන්තයින්ට" කරන්න බැරි වුණු දේවල්, අරගලයට දායක වුණු මිලියන සංඛ්‍යාත ජනතාව බලාපොරොත්තු වුණු විදිහට එකින් එක යථාර්ථයක් කරනවා කියලා චතුරංග අබේසිංහ මහතා මේ සටහනින් සහතික වෙනවා.
ලංකාවේ බස් එකක් වෙලාවට එන එකට ඇමතිවරුන්ට විතරක් නෙවෙයි, අව්වේ වේලෙමින් වැස්සේ තෙමෙමින් පැය ගණන් බස් හෝල්ට්වල රස්තියාදු වුණු සාමාන්‍ය අපිටත් කඳුළු එන එක පුදුමයක් නෙවෙයි! කොහොම වුණත් මේ සිස්ටම් එක හැමදාටම මේ විදිහටම තිබුණොත් හැමෝටම සතුටු කඳුළු තමයි!