හැමදාම අලුත් විලාසිතාවලින්, අලුත් ෆොටෝ ෂූට් වලින් අන්තර්ජාලය උණුසුම් කරන පියුමි ගැන මේ පාර අපිට අහන්න ලැබුණේ ටිකක් වෙනස් විදිහේ කතාවක්. ඒ ඇයගේ තියෙන කාරුණික හදවත ගැනයි. හැබැයි මේ කරපු වැඩේ නිසා පියුමිට දැන් ගෙදරින් නම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලාලු තියෙන්නේ.
පියුමි පහුගිය දවසක තලවිල පල්ලියේ ගිහින් තියෙනවා. එහේ ගියපු වෙලාවේ ඇයට දකින්න ලැබිලා තියෙන්නේ හරිම සංවේදී දර්ශනයක්. ඒ තමයි කන්න බොන්න නැතිව, අඩුම තරමේ බොන්න වතුර පොදක්වත් නැතිව අසරණ වෙලා හිටපු බලු පැටව් රංචුවක්. සත්තුන්ට තියෙන ආදරේ නිසාම දුක හිතුණු පියුමි ඉන්න දවස් ටිකේම මේ සත්තුන්ට හොඳට කන්න බොන්න දීලා විතරක් නෙවෙයි, ගෙදර එනකොට මේ අසරණ බලු පැටව් ඔක්කොම ටිකත් අරගෙනයි ඇවිත් තියෙන්නේ.
"අනෙ දාලා එන්න බැ දුකටම අරං ආවා..." කියමින් පියුමි තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මේ ගැන හරිම අපූරු සටහනක් එක්ක ඡායාරූප පෙළක් පළ කරලා තිබුණා.
මේ එන ගමන් බලු පැටව් කිහිප දෙනෙක්ව 'රශේනි අක්කා' කියන කෙනෙකුටත් දීලා තියෙන පියුමි, ඉතුරු බලු පැටව් ටිකයි, කකුල් කැඩුණු අසරණ පූස් පැටවෙකුයි අරගෙන ගිහින් තියෙන්නේ ඇගේ අම්මාගේ ගෙදරට.
හැබැයි වැඩේ කියන්නේ පියුමිගේ අම්මා සත්තුන්ට එතරම් කැමති කෙනෙක් නෙවෙයිලු. මේ අලුත් අමුත්තෝ ටික දැක්කම අම්මාට හොඳටම කේන්ති ගිහින්. "මගෙ අම්මා සත්තුන්ට කැමති නැ යකා නටනවා... මට ඉන්න නැ" කියලයි පියුමි ඒ ගැන කියලා තිබුණේ. කොහොම වුණත් අම්මාගේ බැනුම් අහගෙන පියුමි මේ සත්තු ටික ගෙදර තියාගෙන නිකන් ඉඳලා නැහැ. එයාලව නාවලා, කිනිතුල්ලෝ අයින් කරලා, ඩොක්ටර් කෙනෙක් ගෙන්නලා අවශ්‍ය ඉන්ජෙක්ෂන් පවා විදලා දැන් ඒ අහිංසකයන්ට හොඳට කන්න බොන්න දීලා බලාගන්නවලු.
පියුමි කියන විදිහට දැන් මේ සත්තු ටික ඉන්නේ ගොඩක් නිරෝගීව. හැබැයි ගෙදරින් තියෙන ප්‍රශ්න නිසා, මේ පැටව්න්ට ආදරෙන් සලකන්න පුළුවන්, හොඳ උණුසුම් කැදැල්ලක් දෙන්න පුළුවන් අයට මේ සත්තු ටික භාරදෙන්න ඇය තීරණය කරලා තියෙනවා.
බාහිර රූපේ ලස්සන වගේම පියුමිගේ ඇතුළාන්තයත් කොච්චර ලස්සනද කියලා මේ සිදුවීමෙන් අපිට පේනවා නේද? ඉතින් සත්තුන්ට ආදරේ කරන ඔයාලත් කැමති නම් මේ අහිංසක පැටියෙක්ව භාර අරගෙන හදාවඩා ගන්න, පියුමිට කතා කළොත් ඇය ඉතාමත් කැමැත්තෙන් මේ පැටව් ඔයාලට ලබා දේවි. අසරණ සතෙකුට පිහිට වුණු පියුමිගේ මේ උතුම් ක්‍රියාවට අපිත් හදවතින්ම අගය කළ යුතුමයි!