ඒ තමයි ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙහෝ. වෙනිසියුලාවේ වෙච්ච දරුණු භූමිකම්පාවෙන් ඔහුගේ ආදරණීය බිරිඳ සහ දරුවන් දෙදෙනාටම එකවර ජීවිත අහිමි වෙලා තියෙනවා.
තමන්ගේ පවුලේ අය ගැන කිසිම තොරතුරක් නැතිව සුන්බුන් අතරේ එයාලව හොයන ගමන්, ලූකස් තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සංවේදී සටහනක් දාලා තිබුණා. ඒ තමයි බිරිඳයි, දරුවොයි සෝෆා එකක තුරුළු වෙලා ඉන්න ලස්සන ඡායාරූපයක්. හැබැයි ඒ ෆොටෝ එක දාලා පැය කිහිපයකින් එයාට අහන්න ලැබුණේ බිරිඳ යානිනා මරනෙල්ලා, සහ ආරොන්, අයින්හෝවා කියන දරුවෝ දෙන්නාගේම නිසල සිරුරු හම්බවුණා කියන කතාව.
මේ සිද්ධිය වෙන වෙලාවේ ලූකස් හිටියේ වෙනිසියුලාවේ අගනුවර වන කරාකස්වල. ඒ තමන්ගේ කණ්ඩායම වන 'ඩෙපෝටිවෝ ලා ගුවයිරා' එක්ක ලීග් තරඟයකට සූදානම් වෙමින්. පසුගිය බදාදා (24) රෑ රික්ටර් මාපකයේ 7.2ක සහ 7.5ක දරුණු භූමිකම්පා දෙකක් එක පිට එක ඇවිත් මුළු ප්‍රදේශයම විනාශ කරලා දැම්මා. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවා මේක හැඳින්වූයේ "දරුණු ද්විත්ව භූ කම්පන අනුක්‍රමයක්" විදිහටයි.
පැය 72ක් පුරා කරපු අතිවිශාල සෙවුම් මෙහෙයුමකින් පස්සේ තමයි සෙනසුරාදා රෑ මේ තුන්දෙනාගේම මළසිරුරු හොයාගෙන තියෙන්නේ.
මේ දුක්බර ආරංචිය ලෝකයටම කිව්වේ ලූකස්ගේ කණ්ඩායමේම යාළුවෙක් වන එඩ්සන් ටොර්ටොලෙරෝ. එයා තමන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ මෙහෙම කියලා තිබුණා:
"ලූකස් ට්‍රෙහෝගේ පවුලේ අයගේ මළසිරුරු හොයාගත්තා කියලා අපි දැනුම් දෙනවා. ලබා දුන් සහයෝගයට ස්තූතියි. මේ දුෂ්කර වෙලාවේ ඔහුගේ පවුලේ පෞද්ගලිකත්වයට උපරිම ගෞරවය ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා."
මේ භූමිකම්පාවෙන් ලූකස්ගේ පවුලට විතරක් නෙවෙයි, වෙනිසියුලාවේ පවුල් දහස් ගාණකට කඳුළු දීලා තියෙනවා. වෙනිසියුලා බලධාරීන් කියන විදිහට මේ වෙනකොටත් 1,430 දෙනෙක් මියගිහින්. තව 2,300කට වඩා තුවාල වෙලා, 3,000කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වෙලා මහ පාරට වැටිලා.