ඔහුගේ අකල් වියෝවෙන් දැඩි සේ කම්පනයට පත්ව සිටින භූමිගේ ආදරණීය බිරිඳ, ඒ අසීරු අවස්ථාවේ තමන්ට ශක්තියක් වුණු හැමෝටම ස්තූති කරමින් ඇගේ මුහුණුපොතේ ඉතාමත් සංවේදී සටහනක් තබා තිබෙනවා.
ඇය පවසන්නේ භූමි නොමැති පාළුව සහ තනිකම ඇයට මුළු ජීවිත කාලය පුරාම දරාගැනීමට සිදුවන බවයි.
"මගේ ජීවිතයේ දරාගන්නට අසීරුම සහ අඳුරුම කාල පරිච්ඡේදයේ මා සමඟ සිටි ආදරණීය ඔබ සැමට හදවතින්ම ලියමි... මගේ ආදරණීය භූමි අපෙන් සමුගෙන ගොස් දැන් දින කිහිපයක් ගත වී ඇතත්, ඔහු නොමැති පාලුව සහ තනිකම මගේ මුළු ජීවිතය පුරාම දරාගන්නට සිදුවන බව මම දනිමි." ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා.
භූමිව හදිසියේම රෝහල්ගත කළ මොහොතේ සිට අවසන් හුස්ම හෙළූ මොහොත දක්වාම රෝහල් ඇඳක් මත මරණයත් සමඟ සටන් කළ ඒ අසීරු දින කිහිපයේදී තම පවුලට ලෙන්ගතුව පිහිට වූ සැමට කෘතඥ වීමටද ඇය අමතක කර තිබුණේ නැහැ.
සැමියාගේ වියෝවෙන් තමන්ට කිසිවක් සිතාගැනීමටවත් ශක්තියක් නොතිබූ මොහොතක, කොළඹදී අවමංගල්‍ය කටයුතු සියල්ල තම කර මතට ගෙන භූමිට උපරිම ගෞරවය ලබාදීමට කටයුතු කළ ඔහුගේ වෘත්තීය සහ කලා ක්ෂේත්‍රයේ මිතුරන් ඇය මහත් භක්තියෙන් සිහිපත් කර තිබුණා.
කොළඹින් පසුව භූමිගේ දේහය ඔහුගේ උපන් ගමට රැගෙන ගිය අවස්ථාවේදීත්, කිසිදු අඩුපාඩුවක් නොතියා අවසන් කටයුතු සාර්ථකව නිම කරන්නට වෙහෙසුණු භූමිගේ ගමේ යහළුවන් සහ ගම්වාසීන් දැක්වූ එකමුතුකම තමන්ට මහා මෙරක් තරම් ශක්තියක් වූ බවයි ඇය පවසන්නේ.
"ගමට ආදරය කළ, ගමේ හැදී වැඩුණු භූමි වෙනුවෙන් ඔබ සැම දැක්වූ ඒ එකමුතුකම, සෙනෙහස සහ සහයෝගය මේ දුක්බර මොහොතේ මට මහා මෙරක් බඳු විය."
මෙම සංවේදී සටහන අවසානයේදී භූමිගේ බිරිඳ, ඔහුගේ පියාණන්, මෑණියන් සහ සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශේෂ ආරාධනාවක්ද එක් කර තිබුණා. ඒ, ජුනි මස 30 වැනිදාට යෙදී තිබෙන භූමිගේ 'මතක බණ' පින්කම සඳහායි. මේ දුෂ්කර වෙලාවේ තමන්ට ශක්තියක් වූ සහ භූමිට ආදරය කළ සැමට, ඔහුගේ පරලොව සැප පිණිස කෙරෙන එම පින්කමට සහභාගී වන ලෙස ඇය ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.