මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (PHI) සංගමය කියන විදිහට මේ වෙනකොටත් දිවයින පුරා දන්සැල් 18,412ක් ලියාපදිංචි වෙලා ඉවරයි! ඒ කියන්නේ මේ පාර හැරුණු හැරුණු අත දන්සැල් තමයි.
හැබැයි ඉතින්, දන්සැල් වැහි වැහැලා තිබුණත් PHI මහත්තුරු නම් නිකන් ඉන්න ලෑස්ති නෑ. අදයි හෙටයි දන්සැල් වගේම පොසොන් කලාප අවට තියෙන කඩවල්, තාවකාලික කෑම කඩ ඔක්කොම සති පුරාම පරීක්ෂා කරන්න විශේෂ කණ්ඩායම් දාලාලු තියෙන්නේ.
PHI සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා දන්සැල් කරන අයට විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ තමයි ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය උපරිමයෙන්ම අඩු කරන්න කියන එක.
උණු උණු බත්, ව්‍යංජන, එහෙමත් නැත්නම් සීතල බීම ජාති පොලිතින් මලු සහ ප්ලාස්ටික් කෝප්පවල දාලා දෙන එක සෞඛ්‍යයට ඉතාමත් අවදානම් කියලා PHI මහත්තුරු කියනවා. ඒ නිසා ඒ ගැන හොඳ අවධානයකින් වැඩ කරන්න ඕනේ.
දන්සැල් වැඳලා බීම එකක්, අයිස්ක්‍රීම් එකක් කාලා ප්ලාස්ටික් කෝප්පය, හැන්ද පාර අයිනට විසි කරලා එන සෙට් එකට මේ පාර වැඩේ වරදින්න ඉඩ තියෙනවා. මොකද මේ දවස්වල රට පුරාම ඩෙංගු රෝගය දරුණුවටම පැතිරෙනවා.
ඔයාලා දාලා එන ප්ලාස්ටික් කෝප්ප අස්සේ වටෙන වැහි වතුරෙන් ඩෙංගු මදුරුවෝ බෝ වෙන්න තියෙන ඉඩකඩ 100%ක්ම වැඩියි. ඒ නිසා බීම බීලා, කෑම කාලා ඉවත දමන ප්ලාස්ටික් නිසි විදිහට කුණු බාල්දිවලටම දාන්න කියලා PHI එක හැමෝගෙන්ම ඉල්ලනවා.