භෞතචිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට නීතියෙන් බේරී සැඟවී සිටීමට සහ පලායෑමට ආධාර අනුබල දුන් බව කියන ඒ පුද්ගලයා කවුද..? මේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා, නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. සැකකාර ස්ථානාධිපතිවරයා මීට පෙර මැණික්හින්න පොලිසියේ ස්ථානාධිපති ලෙසද කටයුතු කළ නිලධාරියෙක්.
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට පහසුකම් සැපයීම සහ ඔහුව විවිධ ස්ථානවලට වාහන වලින් රැගෙන යෑමට උපකාර කිරීමේ චෝදනාව මත නගර සභා කුණු ලොරියක රියැදුරෙකු මීට පෙර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එම කුණු ලොරියේ රියැදුරු කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයාගේ සමීප මිතුරෙක් වන අතර, කුණු ලොරි රියැදුරුගේ ඉල්ලීම මත ස්ථානාධිපතිවරයා මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුට උපකාර කිරීමට ඉදිරිපත් වී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබුණා.
විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට කුණු ලොරි රියැදුරු මහා ධනවතෙක්. ඔහුට නවීන පන්නයේ නිවසක්, මෝටර් රථයක්, යතුරු පැදි කීපයක්, කැබ් රථයක් ඇතුළු වාහන කීපයක් ඇති බව පොලිසිය පවසනවා.
රැකියාවට අමතරව මුදල් පොලියට දීමේ ව්‍යාපාරය ද ඔහු කරගෙන ගොස් ඇති අතර, මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු කුණු ලොරි රියැදුරුගේ බිරිඳගෙන් ද මීට සතියකට පමණ උඩදී රුපියල් ලක්ෂ 05 ක මුදලක් ලබාගෙන ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.
භෞත චිකිත්සකවරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනකු පැය 48 ක රැඳවුම් නියෝග මතතබාගෙන ප්‍රශ්න කර ගෙන යනවා.
අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ද දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව විමර්ශන නිලධාරීහු පවසනවා.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ පොලිසියෙන් බේරීමට මෙම ආරක්ෂිත ක්‍රමෝපායන් පිළිබඳව තමන් පුළුල් දැනුමක් ලබා ගත්තේ මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී එහි සිටි අපරාධකාරයන්ගෙන් බවයි.
වංචා රැසක් සම්බන්ධයෙන් මීට පෙරද මෙම සැකකරු අවස්ථා ගණනාවකදී බන්ධනාගාරගතව සිට ඇති අතර,
භෞත චිකිත්සකවරියට විවාහ පොරොන්දු දී ඇය කැනඩාවට රැගෙන යන බව පවසා ඇගෙන් රුපියල් කෝටි එකහමාරක මුදලක් මොහු ලබාගෙන තිබුණා.
පසුව ඇය නුවර එළියේ මහල් නිවසකදී ඝාතනය කර ඇගේ සිරුර තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක දමා ගොස් තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.
සැකකරු අනියම් බිරිඳ, දරුවා සමග ඉන්දියාවට පලායෑමට සූදානමින් යාපනය ප්‍රදේශය වෙත යමින් සිටියදී වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා, සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් විමර්ශන පවත්වෙනවා.