මෙන්න දැන් රුමේෂ් තරංගගේ මේ ඓතිහාසික ජයග්‍රහණ අගය කරන්න ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන උස්වත්ත බිස්කට් පෞද්ගලික සමාගම පෙරමුණ ගෙන තිබෙනවා. ඒ අනුව රුමේෂ්ගේ නිල අනුග්‍රාහකයා ලෙස උස්වත්ත සමාගම දැන් නිල වශයෙන් අත්වැල් බැඳගෙන අවසන්..
රුමේෂ් තරංගව ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් පසුගිය ජූනි 22 වන දින කැනන්තුඩාව විරෝ රිසෙප්ෂන් හෝල්හිදී අති උත්කර්ෂවත් උපහාර උත්සවයක් පවත්වා තිබෙනවා. රුමේෂ්ගේ උපන් ගම් ප්‍රදේශයේ පැවති මෙම හැඟීම්බර සැමරුම් උත්සවය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන්, මිතුරන්, ප්‍රදේශවාසීන් වගේම ක්‍රීඩා නිලධාරීන් සහ ප්‍රජා නායකයින් රැසක්ම එකතු වෙලා හිටියේ හරිම ආඩම්බරයෙන්.
ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඔහු ලබාගත් ඓතිහාසික ජයග්‍රහණ අගයමින්, උස්වත්ත බිස්කට් සමාගම විසින් රුමේෂ් තරංග පතිරගේ වෙත රුපියල් මිලියන 2.5 ක (ලක්ෂ 25ක) දැවැන්ත මුදල් ත්‍යාගයක් පිරිනමනු ලැබුවා. ඒ වගේම රුමේෂ්ගේ මේ සුපිරි දක්ෂතා පිටුපස සිටි දැවැන්ත හස්තය වන ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතාව ද රුපියල් 500,000 ක (ලක්ෂ 5ක) මුදල් ත්‍යාගයකින් ඇගයීමට ලක් කරන්න ඔවුන් අමතක කළේ නැහැ.
රුමේෂ්ගේ මේ තරග වාරය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට රන් අකුරින් එක්වෙන්නේ පෙර නොවූ විරූ වාර්තා රැසක් එක්කයි.
රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලිය: එහිදී මීටර් 92.62 ක දුරක් හෙල්ලය විසි කරමින් රුමේෂ් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ අතර, එය ඒ වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවය ලෙස ද වාර්තා වුණා. මේ සුපිරි දක්ෂතාවය නිසා ඔහු ඉතිහාසයේ හොඳම හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් අතර අටවැනි ස්ථානයට ද පත්වුණා.
දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලිය: කටාර්හි පැවති මෙම තරගාවලියේදී දැක්වූ සුපිරි දක්ෂතා නිසා ලෝක ශ්‍රේණිගත කිරීම්හි 2 වන ස්ථානය දක්වා ඉහළටම යාමට රුමේෂ්ට හැකි වුණා.
මේ අවස්ථාව දිගුකාලීන හවුල්කාරිත්වයක ආරම්භයක් සනිටුහන් කළ අතර, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල දක්වාම රුමේෂ් තරංගගේ ගමනට නිල අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව සහයෝගය ලබාදීමට උස්වත්ත බිස්කට් සමාගම මෙහිදී ප්‍රතිඥා දුන්නා. ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගේන රුමේෂ්ගේ හීනය හැබෑ කරන්න ඔවුන් හැමදාම ඔහු ළඟින් ඉන්න බවයි පැවසුවේ.
මෙහිදී අදහස් දක්වමින් උස්වත්ත බිස්කට් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශංකර් පෙරේරා මහතා රුමේෂ්ට සිය සුබ පැතුම් එක්කළ අතර, ලංකාවේ නම ලෝකයට ගෙනියන දක්ෂයින් වෙනුවෙන් සමාගම සැමවිටම පෙනී සිටින බව ප්‍රකාශ කළා.