පසුගිය ජූනි 19 වැනිදා නිල වශයෙන් තිරගත කිරීම් ආරම්භ කළ මෙම සිනමාපටය, පළමු සති අන්තයේදීම ඇමෙරිකාවෙන් පමණක් ඩොලර් මිලියන 160ක් සහ ලොව පුරා ඩොලර් මිලියන 312ක සමස්ත ආදායමක් උපයා ගනිමින් 2026 වසරේ ඉහළම සමාරම්භක ආදායම් වාර්තාව තමන් සතු කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙය 2019 වසරේ තිරගත වූ 'ටෝයි ස්ටෝරි 4' චිත්‍රපටය පළමු සති අන්තයේදී ලැබූ ඩොලර් මිලියන 121ක ආදායම ද සිනාසෙමින් අභිබවා යාමකි.
චිත්‍රපටයේ නිල ප්‍රදර්ශනයට පෙර පැවැත්වූ බ්‍රහස්පතින්දා පූර්ව දර්ශන (Previews) මඟින් පමණක් ඩොලර් මිලියන 17.5ක දැවැන්ත ආදායමක් වාර්තා වූ අතර, එය සජීවීකරණ සිනමා ඉතිහාසයේ දෙවන ඉහළම පූර්ව දර්ශන ආදායම ලෙස සටහන් වේ. එමෙන්ම, සිකුරාදා පළමු දිනයේ ලැබුණු සමස්ත ආදායම ඩොලර් මිලියන 71ක් වූ අතර, එය සර්වකාලීන ඉහළම සජීවීකරණ ආරම්භක දින ආදායම සතු 'Incredibles 2' (ඩොලර් මිලියන 71.2) චිත්‍රපටයේ වාර්තාවට ඉතාමත් ආසන්න අගයකි.
ඩිස්නි සමාගම විසින් මෙම චිත්‍රපටය ප්‍රවර්ධනය කිරීම සඳහා අනුගමනය කළ නවීන සමාජ මාධ්‍ය උපාය මාර්ග ද මෙවැනි අතිවිශාල ප්‍රේක්ෂක ආකර්ෂණයකට ප්‍රධානතම හේතුවක් වී තිබෙනවා. විශේෂයෙන්ම, ලෝක පූජිත ගායන තරුවක් වන ටේලර් ස්විෆ්ට්ගේ දායකත්වය සහ ඇයගේ "I Knew It, I Knew You" ගීතය සමඟ සක්‍රීය වූ සමාජ මාධ්‍ය ප්‍රචාරණය නිසා මිලියන 530කට අධික අතිරේක ප්‍රේක්ෂක පිරිසක් වෙත සමීප වීමට මෙම චිත්‍රපටයට හැකි වූ බව RelishMix දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක දැවැන්ත නිෂ්පාදන පිරිවැයකින් නිර්මාණය වූ 'ටෝයි ස්ටෝරි 5', මෙතෙක් 2026 වසරේ ඉහළම සමාරම්භක ආදායම ලබා තිබූ 'ද සුපර් මාරියෝ ගැලැක්සි මූවී' (The Super Mario Galaxy Movie - ඩොලර් මිලියන 132) සිනමාපටය ද පසුපසට ඇද දමා තිබේ. ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු ජාත්‍යන්තර සිනමාශාලාවල ද අංක එකේ ස්ථානය දිනාගනිමින්, චිත්‍රපටය මේ වන විටත් ලොව පුරා බොක්ස් ඔෆිස් ආදායම් ලැයිස්තුවේ වේගයෙන්ම ඉදිරියට පැමිණෙමින් පවතින බව සිනමා ක්ෂේත්‍රයේ විචාරකයින් පවසනවා.