ඒ, අධිවේගී මාර්ගයේ සිදුවූ දරුණු වාහන අනතුරක් සම්බන්ධවයි. වාහන පහක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසන්නේ.
පොලිසිය සඳහන් කරන අන්දමට මේ අනතුර සිදුවෙලා තියෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර කිලෝමීටර 31 ප්‍රදේශයේදීයි. මාතර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකක් සහ මෝටර් රථ තුනක් මෙලෙස එකිනෙක පිටුපස ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
අධිවේගී මාර්ගයේ එක පිට එක වාහන පහක් හැප්පීමෙන් සිදුවූ මේ අනතුර නිසා පුද්ගලයන් කිහිපදෙනෙකුම තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. තුවාල ලැබූ පිරිස මේ වන විට රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට දිවෙන මංතීරුවේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තියෙනවා... මේ නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් මාතර දෙසට යාමට බලාපොරොත්තුවෙන් සිටින රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස හෝ අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දෙනවා. අධිවේගී රථවාහන පොලිසිය මේ වන විට මාර්ගයේ රථවාහන පාලනය කිරීමට සහ අනතුරට ලක්වූ වාහන ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.