ලෝක ප්‍රකට නිව්යෝර්ක් නුවර එම්පයර් ස්ටේට් (Empire State) ගොඩනැඟිල්ල මුදුනටම නීතිවිරෝධී ලෙස නැඟ, ලෝක සාමය වෙනුවෙන් දැවැන්ත බැනරයක් ප්‍රදර්ශනය කළ රුසියානු ජාතික යුවළක් නිව්යෝර්ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අවදානම් සහගත ගමන අතරතුරදී ඔවුන් දෙදෙනා අතර විවාහ ගිවිස ගැනීමක් ද සිදුව ඇති බව වාර්තා වෙනවා.
අඩි 1,454ක් ඉහළින් පිහිටි මෙම ගොඩනැඟිල්ලේ ඇන්ටනා කුළුණ මුදුනටම නැඟ ඇත්තේ ඇන්ජෙලා නිකොලාව් (33) සහ වන්යා බිර්කස් (32) නැමැති යුවළක්. කළු පැහැති ඇඳුමෙන් සැරසුණු ඔවුන්, එහි සිට සජීවී දර්ශන තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද මුදාහැරීමට කටයුතු කර තිබුණා.
ඔවුන් එහි ප්‍රදර්ශනය කළ කළු පැහැති බැනරයේ සුදු අකුරින් සටහන්ව තිබුණේ, "බලයට ඇති ආදරය පරදා ආදරයේ බලය ජයගන්නා දිනට ලෝකය සාමය අත්කර ගනු ඇත" යන සුප්‍රකට වැකියයි. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා විවාහ වීමට එකිනෙකාට යෝජනා කර ඇති අතර, සිප වැළඳගනිමින් සතුට සමරා ඇති අතර, එහිදී හිස් වැස්මක් පැළඳ සිටි ඇන්ජෙලා, ඇයගේ විවාහ ගිවිස ගැනීමේ මුදුව ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුමට එක් කිරීම සඳහා ඡායාරූප ගත කරන අයුරු ද දක්නට ලැබුණා.
මෙම යුවළ උස් ගොඩනැඟිලි මුදුන්වලට නැඟීමේ (Rooftop adventures) අන්තරායකර වික්‍රමයන් නිසා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන අතර, ඔවුන්ගේ මෙම ජීවන රටාව අලලා නිර්මාණය වූ "Skywalkers: A Love Story" නැමැති වාර්තා චිත්‍රපටය 2024 වසරේදී නෙට්ෆ්ලික්ස් (Netflix) හරහා ද විකාශය වුණා.
සිදුවීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ නිව්යෝර්ක් පොලිසිය ගොඩනැඟිල්ල අවට මාර්ග වසා දමා ආරක්ෂාව තර කිරීමට පියවර ගත් අතර, පසුව කිසිදු බාධාවකින් තොරව මෙම යුවළ අත්අඩංගුවට ගත් බව නිවේදනය කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන්ට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බවයි.
2001 වසරේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු එම්පයර් ස්ටේට් ගොඩනැඟිල්ලේ ආරක්ෂාව දැඩි ලෙස තර කර තිබියදීත්, මොවුන් දෙදෙනා එහි ආරක්ෂක වළල්ල බිඳදමා ඇන්ටනාව දක්වා ළඟා වූයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.