දකුණු ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාවේ බටහිර ප්‍රදේශයට ඊයේ (ජූනි 24) රාත්‍රියේ තත්පර 39ක් වැනි සුළු කාලයක් ඇතුළත රික්ටර් මාපක 7.2ක සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කර ඇති පරිදි පළමු භූමිකම්පාව ඊයේ (24) එරට වේලාවෙන් පස්වරු 06:04ට (GMT 22:04) අගනුවර වන කරකාස් සිට බටහිරින් කිලෝමීටර් 284ක් දුරින් පිහිටි සැන් ෆෙලිප් (San Felipe) අසලින් හටගෙන ඇති අතර, එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.2ක් ලෙස සටහන් වුණා.
ඉන් තත්පර 39කට පසුව, අගනුවරට බටහිරින් කිලෝමීටර් 293ක් දුරින් පිහිටි යුමාරේ (Yumare) ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් දෙවන ප්‍රධාන භූමිකම්පාව සිදුව තිබෙනවා.
භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය බටහිර දෙසින් පිහිටියද, ඉන් කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි කරකාස් අගනුවරට දැඩි බලපෑම් එල්ල වී තිබුණා. අගනුවර පිහිටි මහල් නිවාස සහ ව්‍යාපාරික ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් කඩා වැටී ඇති අතර, සුන්බුන්වලට මිනිසුන් සිරවී ඇති බව වාර්තා වෙනවා.
ගෑස් නළ පුපුරා යාම වැළැක්වීම සඳහා නගරයේ ගෑස් සැපයුම අත්හිටුවීමට රජය පියවර ගෙන ඇති අතර, කරකාස් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් ද තාවකාලිකව නවතා දමා තිබෙනවා.
කෙසේ වෙතත්, අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසන්නේ මෙම ද්විත්ව භූමිකම්පාව හේතුවෙන් ජීවිත හානි විශාල ප්‍රමාණයක් සහ බරපතළ දේපළ හානි සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවයි. ව්‍යසනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකි බවට ද ඔවුන් අනාවැකි පළ කරනවා.
වෙනිසියුලා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩියොස්ඩාඩෝ කැබෙල්ලෝ (Diosdado Cabello) ප්‍රකාශ කළේ, සහන සේවා, පොලිසිය සහ ස්වේච්ඡා කණ්ඩායම් මේ වන විටත් මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර, පසු කම්පන (Aftershocks) ඇති විය හැකි බැවින් ජනතාවට විවෘත ස්ථානවල රැඳී සිටින ලෙසයි.
මේ අතර භූමිකම්පාවත් සමඟ කැරිබියන් කලාපයේ පුවටෝ රිකෝ සහ වර්ජින් දූපත් වෙත නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම් පසුව ඉල්ලා අස්කර ගැනීමට බලධාරීන් කටයුතු කළේය.