ඊයේ (17) දිනය තුළ පමණක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ දරුණු රිය අනතුරු 5කින් වටිනා මිනිස් ජීවිත 6ක්ම මෙලොවින් සදහටම සමුගෙන තිබෙනවා. පූනෑව, ගොවිඳුපුර, එරාවුර්, බෙන්තොට සහ කිලිනොච්චිය යන පොලිස් වසම්වලින් මෙම මාරක අනතුරු වාර්තා වී තිබෙන්නේ මුළු රටම දැඩි සේ කම්පාවට පත් කරමින්.
ඒ 09 මාර්ගයේ ගල්කන්දේගම ප්‍රදේශයේදී වව්නියාව දෙසට සීරුවෙන් ධාවනය වූ ලොරි රථයක්, පාර අයිනේ නවතා තිබූ තවත් ලොරි රථයක පිටුපස දරුණු ලෙස ගැටී තිබෙනවා. ගැටුණු වේගයට ධාවනය වූ ලොරිය අනෙක් ලොරිය මතටම පෙරළී ගොස් ඇති අතර, එහිදී යටවුණු ලොරියේ පිටුපස සිටි නොරොච්චෝලයේ පදිංචි 33 සහ 46 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මැදවච්චිය රෝහලේදී අවසන් හුස්ම හෙළා තිබෙනවා.
අම්පාර - සියඹලාණ්ඩුව මාර්ගයේ 08 කණුව බෝක්කුව අසලදී යතුරුපැදියක් තවත් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී එකිනෙක ගැටී, ඉන් එක් යතුරුපැදියක් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටී තිබෙනවා. අනතුරෙන් සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පිපෙන්නට වෙරදැරූ තරුණ ජීවිතයක් සදහටම නැවතී තිබෙනවා.
මඩකලපුව - ත්‍රිකුණාමලය මාර්ගයේ මයිලම්බාවලි ප්‍රදේශයේදී මඩකලපුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනයෙන් තොරව පාරේ පෙරළී ගොස්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී තිබෙනවා. අනතුරෙන් මුලින්ම පෙරළුණු යතුරුපැදිය පැදවූ මඩකලපුවේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක් එරාවුර් රෝහලේදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
ගාල්ල - කොළඹ මාර්ගයේ බෙන්තොට නගරය ආසන්නයේදී කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් දකුණට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් ආ යතුරුපැදියේ දරුණු ලෙස ගැටී තිබෙනවා. අනතුරෙන් බරපතල තුවාල ලැබූ මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
කිලිනොච්චිය ඒ 09 මාර්ගයේ උමයාලපුරම් ප්‍රදේශයේදී යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මහා කුඹුක් ගසක ගැටී තිබෙනවා. අනතුරින් යාපනයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙක් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.