තමන්ගේ සෘජු අදහස් නිසාම සමාජයේ දැඩි අවධානයක් දිනාගත් කෞශාල්, ඊයේ (ජූනි 28) දින මුළු රටම පුදුමයට පත් කරමින් ගිහිගෙය අත්හැර උතුම් වූ පැවිදි බිමට ඇතුළත් වී තිබෙනවා.
"පූජ්‍ය බෝධිචිත්ත හිමියන්" ලෙස සසුන්ගත වූ උන්වහන්සේ, තමන්ගේ මේ සුවිශේෂී ජීවන පෙරළිය ගැන සහ තමන් වෙත පණිවිඩ එවූ සුවහසක් රසිකයන්, සහෘදයන් වෙනුවෙන් සිය නිල මුහුණු පොතට අතිශය සංවේදී මෙන්ම දාර්ශනික සටහනක් එකතු කර තිබුණා.
ගිහි ජීවිතයේ අවසානය සනිටුහන් කරමින් උන්වහන්සේ තැබූ ඒ දීර්ඝ සටහන පහතින්...
"මම පැවිදි වුණේ බණ කියන්න, චෛත්‍ය හෝ සිමෙන්ති ගඩොල් බුදු දහම වෙනුවෙන් නෙමේ... සහ ජිවිතයේ පලා යාම වෙනුවෙන් තාවකාලික පැවිද්දක් නෙමේ... නැතිනම් කවර හෝ පුද්ගලයෙක් ගැන කළකිරිලා හෝ වෙනත් කරුණක් මත නොවේ! මම ගිහි ජීවිතයේ අවසානය වෙනුවෙන් ‘යාත්‍රිකයාගේ වස්සානය’ ලිවුවේත් මේ නිසාමයි.
ඒ නිසා කවුරුවත් පැවිදි වීම ගැන හිත අපහදවා ගන්න එපා! මගේ මේ තීරණයේ තියෙන්නෙ ඉන් එහා ඉලක්කයක්..."
සමාජ ක්‍රියාකාරිකයෙකුව සිටි සමයේ විවිධ මතගැටුම්, කතාබහ ඇතිවීම සාමාන්‍ය දෙයක්. උන්වහන්සේ ඒ සියල්ල සිහිපත් කරමින් මෙලෙස පවසා සිටිනවා...
"කාට හෝ පසුගිය කාලයේ සිත් රිදවීමක්, කනස්සල්ලක් මගේ යම් ක්‍රියාවක් වචනයකින් දැන හෝ නොදැන වුණා නම් ඒ ගැන සමාව ඉල්ලමි."
තමන් සසුන්ගත වුවද, තවමත් මෙලොව ජීවිතයේ විවිධ කටුක අත්දැකීම්වලට මුහුණ දෙන සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් උන්වහන්සේ මෙන්න මෙවැනි ආදර්ශමත් අවවාදයක් එකතු කර තිබුණා...
"ජීවිතයේ අමාරු මොහොතවල් වලට මුහුණ දෙන, ජීවිතයේ තනි වෙන, ඒ දුක කියා ගන්න බැරි ඔබට කියන්නෙ... සියලු දේම අනිත්‍යයි නම් ඔබේ දුක සහ කරදරයත් අනිත්‍යයි... ඒ නිසා වෙනස් වෙන දෙයක් ඒ විදිහට දැක මුහුණ දෙන්න, හිත ශක්තිමත් කරගන්න...
ඔබේ අනන්‍යතාවය මොකක් වුණත්, ඔබ ආදරේ කරන්නෙ කාට වුණත් ඔබ ඔබව මුලින්ම පිළිගන්නවා නම්, ලෝකයෙන් අනුමත බව නොසයවනවා නම්... නුපන් අනාගතය ගැන බිය නොවි, ගිය අතීතය ගැන පසුනොතැවෙනවා නම් ඔබට අනිවාර්යයෙන් සතුට උරුමයි"
කෞශාල් රණසිංහ මුහුනු පොතේ සටහන ඇසුරෙන්
