සුපුරුදු පරිදි උදෑසන තේ වත්තේ වැඩට යමින් සිටි වතු කම්කරු කාන්තාවක්, පාලමක් මතින් ගමන් කරමින් සිටියදී එක්වරම පාලම අසළින් අඩි 30ක් විතර ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා තිබෙනවා.
මෙසේ අනතුරට මුහුණ දී තිබෙන්නේ බගවන්තලාව, කොටියාගල වතුයායේ පදිංචි 72 හැවිරිදි වයෝවෘද්ධ මවක්. මේ දිනවල බගවන්තලාව ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණයත් එක්ක ඇය පාලම පසු කරන්න හදද්දීමයි මේ අනපේක්ෂිත අනතුරට මුහුණ දීලා තියෙන්නේ.
ඇය එක්වරම පාලම අසළින් පහළ ප්‍රපාතයට ඇදවැටෙනවා දුටු අවට සිටි අනෙකුත් වතුකම්කරුවන් වහාම ක්‍රියාත්මක වෙලා, මහත් පරිශ්‍රමයක් දරලා ඇයව ප්‍රපාතයෙන් ගොඩට ගෙන වහාම රෝහල් ගත කරන්න කටයුතු කර තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ ඇයව මුලින්ම ඇතුළත් කර තිබුණේ බගවන්තලාව ප්‍රාදේශීය රෝහලටයි. එහිදී මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව, තත්ත්වය බරපතල බැවින් ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බව බගවන්තලාව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ.ජයසූරිය මහතා පවසා සිටිනවා.