ඒ අතරින් කළු ගඟේ ජල මට්ටම මේ වනවිට අඩි 17කටත් වඩා වැඩිවෙලා තියෙන්නේ. හැබැයි මේ මහා ජල කද අස්සෙන් මුහුණු පොත කැළඹූ, ඇඟ කිලිපොලා යන වීඩියෝ පටයක් හුවමාරු වෙනවා දැකගත හැකි වුණා.
ඒ තමයි, කළු ගඟ මැද තරුණයෝ පිරිසක් මහන්සියෙන්, ආදරයෙන් නිර්මාණය කරපු ලස්සන පොසොන් තොරණක් මේ මහා ගංවතුරට ගසාගෙන යාමේ තර්ජනයකට ලක්වීම...
සාමාන්‍යයෙන් මේ වගේ සැඩ දියවැල් තියෙන ගඟකට බහින්න තියා හිතන්නවත් කවුරුත් බයයි. හැබැයි අපේ රටේ කොල්ලන්ගේ අත්නොහරින උත්සාහය සහ කැපවීම ලෝකෙටම ආදර්ශයක් කියලා ඔප්පු කරමින්, මේ තරුණයින් පිරිස තමන්ගේ ජීවිත අවදානම පවා නොතකා කළු ගඟේ සැඩ පහරට මුහුණ දී තිබෙනවා.
පාවෙලා එන විශාල උණ බට තොරණට යටින් යවමින්, තවත් පිරිසක් පාරුවල ආධාරයෙන් උණ බට තදින් අල්ලාගෙන සිටින්නේ තොරණේ ආරක්ෂාව වෙනුවෙනුයි. තවත් සමහරු ජීවිතාරක්ෂක කබා පවා නොමැතිව මහා දියකඳ මැද පීනමින් මේ මෙහෙයුමට දායක වන අයුරු දකින්න ලැබෙනවා.
දින ගණනාවක් තිස්සේ නිදි වරාගෙන, දහඩිය හෙළා නිර්මාණය කළ මේ තොරණ ගඟට බිලිවෙන්න නොදී බේරාගන්න මේ තරුණයෝ ටික දරන මේ උත්සාහය අගය කළ යුතුය...