මසුන් ඇල්ලීමට ගොස් නිවසට පැමිණීම ප්‍රමාද වූ තම ආදරණීය පුත්‍රයා සෙවීම සඳහා 10 හැවිරිදි දියණියද කැටුව ගිය මවක, වැවක් අසල තිබූ මාරක ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම දරුණු අනතුරෙන් මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇය සමඟ ගිය 10 හැවිරිදි කුඩා දියණිය දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිල වශයෙන් සඳහන් කරන්නේ.
ගල්ගමුව පොලිස් වසමට අයත් තෙන්නකෝන්පුර, තුබාර වැව අසලදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (28) රාත්‍රී කාලයේදීයි. මෙලෙස අවාසනාවන්ත ලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ තලකිරියාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් වූ ආදරණීය මවක්. දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ ඇගේ වයස අවුරුදු 10ක් වූ සිඟිති දියණියයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය මවගේ පිරිමි දරුවා මසුන් ඇල්ලීම සඳහා තුබාර වැව වෙත ගොස් ඇති බවයි. රාත්‍රී වනතුරුත් පුතා නැවත නිවසට පැමිණීම ප්‍රමාද වීම නිසා මවගේ සිතට දැනුණු නොසන්සුන්කම සහ බිය හේතුවෙන්, ඇය සිය දියණියද කැටුව පුතා සොයා වැව දෙසට ගමන් කර තිබෙනවා.
රාත්‍රී අන්ධකාරය මැද පුතා සොයමින් යමින් සිටියදී, තුබාර වැව අසල කපා තිබූ අනාරක්ෂිත වගා ළිඳකට මොවුන් දෙදෙනාම එකවරම ඇද වැටී තිබෙනවා. කඩිනමින් සිදුකළ සෙවීම්වලදී මවගේ සිරුර සොයාගෙන ඇති අතර, දියේ ගිලී අතුරුදන්ව සිටින 10 හැවිරිදි අහිංසක දැරිය සෙවීම සඳහා මේ වන විටත් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
තමන්ගේ දරුවා ගැන හිතලා රෑ බෝවෙලා පාරට බැස්ස මේ අහිංසක මවට වුණු විපත ගැන මුළු පළාතම මේ වනවිට ශෝකයෙන් සසල වී අවසන්. ගල්ගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.