ඒ තමයි භාවනා කරමින් නිදහසේ වැඩසිටින මෙහෙණින් වහන්සේ නමකට, ඒ ආරාමයෙන් යන්න කියලා බියගන්වන්න ආරාමයේ දොරකඩටම ගෙනැවිත් තැබූ අමුම අමු මිනී ඔළුවක කතාවක්!
මේ ආරාමයේ කලින් වැඩසිටිය මෙහෙණින් වහන්සේ අපවත් වුණාට පස්සේ, 2024 අවුරුද්දේ ඉඳන් තමයි මේ කියන මෙහෙණින් වහන්සේ මෙතන වැඩඉන්නේ. පහුගිය 26 වෙනිදා උන්වහන්සේ අනුරාධපුරයේ භාවනා වැඩසටහනකට ගිහින් ආපහු ආරාමයට එද්දී, මෙන්න දොරකඩ තියෙනවා මිනී ඔළුවක්! මේක දැකලා කම්පනයට පත්වුණු මෙහෙණින් වහන්සේ වහාම මේ ගැන පෑලියගොඩ මූලස්ථාන පොලීසියට පැමිණිලි කරලා තියෙනවා.
පොලීසියෙන් ඇවිත් ආරාමයේ ආරක්ෂාව තර කරලා, ඊයේ (27) හවස කොළඹ අලුත්කඩේ අංක පහ වැඩබලන මහෙස්ත්‍රාත් ශ්‍රියාන් පුංචිහේවා මහතා ඇවිත් ස්ථානීය පරීක්ෂණයක් එහෙමත් සිදුකළා. ඊටපස්සේ මිනී ඔළුව පොලිස් භාරයට අරගෙන තමයි මෙහෙණින් වහන්සේට ආයෙමත් ආරාමය ඇතුළට යන්න අවසර දීලා තියෙන්නේ.
මේ කතාවේ ලොකුම ගැටලුව තියෙන්නේ එතනයි. මෙහෙණින් වහන්සේ මේ ගැන කෙළින්ම චෝදනා කරන්නේ මේ ප්‍රදේශයේම වැඩසිටින හිමිනමකට! සිද්ධිය වුණු 26 වෙනිදා උදේ මේ කියන හිමිනම ත්‍රීවීල් එකකින් ආරාමය ගාවට ඇවිත් යනවා ප්‍රදේශවාසීනුත් දැකලා තියෙනවාලු.
ඒ විතරක් නෙවෙයි, මීට කලිනුත් මේ කියන හිමිනම ආරාමයේ හිටවලා තිබුණු බෝධීන් වහන්සේ විනාශ කරලා, ආරාමයේ නාමපුවරුවත් කඩලා දාලා තියෙනවා කියලයි චෝදනා එල්ල වෙන්නේ.
මෙහෙණින් වහන්සේව එළවා දාලා මේ ආරාමය අත්පත් කරගන්න හදන කුමන්ත්‍රණයක්ද මේක? මිනී ඔළුවක් ගෙනත් දාන්න තරම් මේ කෝන්තරේ දුරදිග ගියේ ඇයි? පෑලියගොඩ පොලීසිය දැන් මේ ගැන පුළුල් පරීක්ෂණයක් පටන් අරන් තියෙනවා. කොහොම වුණත් ආගමික ස්ථානයක් අස්සේ මේ වගේ දේවල් වෙන එක ගැන නම් තියෙන්නේ ලොකු කණගාටුවක්.