ප්‍රවීණ බොලිවුඩ් පසුබිම් ගායන ශිල්පිනී අල්කා යාග්නික් (Alka Yagnik) ඉන්දියාවේ කීර්තිමත් පද්ම භූෂණ සම්මාන උළෙල සඳහා රෝද පුටුවක ආධාරයෙන් සහභාගී වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ලොව පුරා සිටින ඇයගේ මිලියන සංඛ්‍යාත රසිකයන් දැඩි කනස්සල්ලට පත්ව සිටියා.
කෙසේ වෙතත්, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ සියලුම රසිකයින්ට සහ හිතවතුන්ට ස්තූතිය පුද කරමින් ඇය සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබීමද මෙහිදී කැපී පෙනුනා. එහිදී ඇය අවධාරණය කර ඇත්තේ තමන් මේ වන විට ඉතා හොඳින් සුවය ලබමින් සිටින බැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසයි.
"සම්මාන උළෙලේ වීඩියෝව දැකලා බොහෝ දෙනෙක් කනස්සල්ලට පත්වෙලා තිබෙනවා මම දැක්කා. මම හොඳින් සුවය ලබමින් ඉන්නවා කියලා හැමෝටම කියන්න කැමතියි. ඒ දීර්ඝ වගේම අමතක නොවන දවස අවසානයේ මට දැනුණු විඩාව නිසයි මම රෝද පුටුවක සහාය ඉල්ලා සිටියේ. ඒ නිසා කරුණාකරලා ඒ ගැන දුක් වෙන්න එපා." ඇය ඒ ගැන පවසා තිබුණේ එවැන්නක්.
ඉන්දීය ජනපතිට සහ අගමැතිට විශේෂ ස්තූතියක්
පවතින සෞඛ්‍ය අභියෝග මධ්‍යයේ වුවද, රටේ ඉහළම සිවිල් සම්මානයක් වන පද්ම භූෂණ සම්මානය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු (Droupadi Murmu) මහත්මිය අතින් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව ඇය මහත් සතුටක් පළ කළාය. එමෙන්ම තමන් වෙත විශේෂ අවධානයක් සහ සහයෝගයක් දැක්වීම පිළිබඳව ඉන්දීය ජනාධිපතිනියට මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි (Narendra Modi) මහතාට ද ඇය සිය හෘදයාංගම කෘතඥතාව පිරිනැමුවාය. රාජ්‍ය නායකයන් දැක්වූ මෙම දයාන්විත සැලකිල්ල තමන්ට විශාල ශක්තියක් වූ බව ඇය පවසන්නීය.
දුර්ලභ ශ්‍රවණාබාධ තත්ත්වයකට (SNHL) ප්‍රතිකාර ලබමින් සිටියි
පසුගිය වසර දෙකක පමණ කාලයක සිට අල්කා, 'Sensorineural Hearing Loss' (SNHL) නමින් හැඳින්වෙන, ස්නායු ආශ්‍රිතව හටගන්නා දුර්ලභ ශ්‍රවණාබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් පොදු අවස්ථාවලින් සහ කලා කටයුතුවලින් තරමක් දුරස්ව සිටියා. වෛරස් ආසාදනයක් හේතුවෙන් කනට සහ ශ්‍රවණ ස්නායුවලට සිදුවන බලපෑමක් නිසා ඇතිවන මෙම තත්ත්වය, ශරීරයේ සමබරතාවයට (Balance) සහ ඇවිදීමේ අපහසුතාවලට ද ඇතැම් විට බලපෑ හැකි බව වෛද්‍යවරු පවසන්නේ.
කෙසේ වෙතත්, තමන් සෙමින් නමුත් සාර්ථකව නැවත සුපුරුදු ජීවිතයට අවතීර්ණ වෙමින් සිටින බව ඇය තහවුරු කිරීමත් සමඟ බොලිවුඩ් තරු සහ ලොව පුරා සිටින රසිකයින් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සුබපැතුම් එක් කරමින් සිටියා.