සමහරු කියන්නේ වැරදුණු ජීවිත ආයෙත් හදන්න බැහැ කියලයි. හැබැයි ඒ කතාව බොරු කියලා ඔප්පු කරපු අපූරු පුවතක් පාදුක්ක වටරැක එළිමහන් සිර කඳවුරෙන් වාර්තා වෙනවා.
මීට අවුරුදු දෙක තුනකට කලින් නොයෙකුත් සුළු වැරදි නිසා බන්ධනාගාරගත වෙන්න සිද්ධ වුණු, තරුණ දරුවන් 06 දෙනෙක්, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වෙලා උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා. කම්බි වැටවල්, හිරගෙවල් කියන්නේ හුදෙක් දඬුවම් දෙන තැනක් විතරක්ම නෙවෙයි, ජීවිතය අලුතින් ලියන්න පුළුවන් තැනක් කියලා මේ දරුවෝ මුළු රටටම පෙන්වලා දීලා ඉවරයි.
මේ දරුවෝ විභාගයට ලියුවේ වෙන කවුරුත් ලියපු සාමාන්‍ය විභාග මධ්‍යස්ථානයක නෙවෙයි. රැඳවියන් වෙනුවෙන්ම වෙන්වුණු ශ්‍රී ලංකාවේ එකම පාසල වන වටරැක "සුනීත පාසලේ" පිහිටුවා තිබූ විභාග මධ්‍යස්ථානයේදීයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වෙලා 2014 වර්ෂයේදී තමයි මේ අපූරු පාසල ආරම්භ කරලා තිබෙන්නේ.
මේ සුවිශේෂී ජයග්‍රහණය ගැන වටරැක බන්ධනාගාර අධිකාරි රෝහිත සෙනරත් මහානාම මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ මෙවැනි කතාවක්,
'වටරැක බන්ධනාගාරයේ ඇති මෙම සුනීත පාසල 2014 තමා පටන් ගත්තේ.. බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා තමා මේක පටන් ගත්තේ.. මෙහිදී සිද්ධ වෙන්නේ අගතියට පත් ළමයි ඒ කියන්නේ පාසල් යන්න බැරිව නොයෙකුත් ප්‍රශ්නවලට මැදිවෙච්ච ළමයින් අපිට ලංකාවේ විවිධ අධිකරණවලින් එවනවා.. ඒ අය විවිධ අධ්‍යාපන මට්ටම්වල අය.. අපි එයාලට කඩිනම් අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කරලා අධ්‍යාපනය ලබා දෙනවා.. මේක විශේෂ ශ්‍රේණියේ රජයේ පාසලක්.. මේකේ විදුහල්පතිවරයෙක් සහ කාර්ය මණ්ඩලය ඉන්නවා.. දරුවන්ගේ ඒ ඒ මට්ටම්වලට ගැලපෙන විදිහට අපි අධ්‍යාපනය ලබා දෙනවා.. මේ පාර අපි ළමයින් 06 දෙනෙක් ඉදිරිපත් කළා.. ඒ අය විශිෂ්ට ලෙස පාස් වෙලා උසස් පෙළට සුදුසුකම් ලබලා තියෙනවා.. ''