ලෝක ප්‍රකට සංචාරක සඟරාවක් වන Travel And Tour World (TTW) ආයතනය විසින් 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 (World's Best Culinary Destinations) අතරට අපේ පුංචි ශ්‍රී ලංකාවත් අභිමානවත් ලෙස ඇතුළත් කර තිබෙනවා..
ලෝකයේ සුපිරිම රටවල් රැසක් අභිබවමින් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ 50 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබීම සැබවින්ම අපට ලොකු ආඩම්බරයක්.
මෙම ජාත්‍යන්තර ඇගයීමට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ මෙරටටම ආවේණික වූ සුවඳවත්, සැර සහ රසවත් කුළුබඩු වර්ගයි. ඒ වගේම වසර සිය ගණනක අතීතයකට දිවයන අපේ සංස්කෘතික උරුමයත් මේ සඳහා ප්‍රධාන පදනමක් වෙලා තියෙනවා.
ආහාර කියන්නේ හුදෙක් බඩගින්න නිවාගන්නා දෙයක් විතරක් නෙවෙයි, එය රටක සංස්කෘතික අනන්‍යතාවය සහ මිනිසුන්ගේ ආගන්තුක සත්කාරය විදහා දක්වන සුන්දර අත්දැකීමක් බවයි මෙම ජාත්‍යන්තර වර්ගීකරණය මඟින් තහවුරු කර ඇත්තේ.
ලංකාවේ හැම තැනකම කෑම එකිනෙකට වෙනස් රසයන්ගෙන් යුක්තයි. මෙම වාර්තාව මඟින් සංචාරකයන්ට ආහාර සඳහාම වෙන්වූ සුවිශේෂී නගර කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා.
කොළඹ, ගාල්ල, මහනුවර, මීගමුව, ඇල්ල, යාපනය, මිරිස්ස, නුවරඑළිය, හික්කඩුව සහ ත්‍රිකුණාමලය එලෙස විශේෂ අවධානයක් දිනාගත් නගරයි.
විශේෂයෙන්ම කොළඹ නයිට් ලයිෆ් කෑම කඩ, යාපනයේ සැර කකුළුවෝ හොද්ද, ගාල්ලේ මුහුදු ආහාර වගේම නුවරඑළියේ තේ පැන් සංග්‍රහයන් ලෝක සංචාරකයන්ගේ වැඩිම ආකර්ෂණයක් දිනාගෙන තිබෙනවා.
මෙම ලැයිස්තුවේ පළමු ස්ථාන 5 පිළිවෙළින් දිනාගෙන තියෙන්නේ මෙක්සිකෝව, ඉතාලිය, ස්පාඤ්ඤය, ජපානය සහ ඉන්දියාව යන රටවල්ය.