සමථ මණ්ඩල එකඟතාවයට අනුව රුපියල් ලක්ෂ 5ක මුදලක් අද දිනයේදී අගතියට පත් පාර්ශ්වය වෙත ලබා දීමට හේමාල් රණසිංහ කටයුතු කර තිබෙනවා.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණයට පවසා සිටියේ, එම රුපියල් ලක්ෂ පහක වන්දි මුදල අගතියට පත් පාර්ශ්වයේ කැමැත්තට අනුව මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කරන බවයි.
මෙම සිද්ධියට අදාළව ඉකුත් නඩු දිනයේදී විවෘත අධිකරණය තුළ හේමල් රණසිංහ සහ අගතියට පත් පාර්ශ්වය සිංහල චාරිත්‍රානුකූලව අතට අත දී තිබුණා.
අධිකරණයට ඉදිරිපත් කරන ලද සමථ මණ්ඩල වාර්තාවෙහි කොන්දේසි හතරක් සඳහන්ව තිබූ අතර, එය අධිකරණයේදී කියවා දෙනු ලැබුවා.
එම වාර්තාවේ සඳහන් පරිදි,
හේමාල් රණසිංහ විසින් පහර දෙනු ලැබූ බවට වරද පිළිගෙන, පහර කෑමට ලක්වූ සිනමා විචාරක ලක්මිණ රණසිංහගෙන් සමාව ගැනීම.
අගතියට පත් ලක්මිණ රණසිංහ විසින් හේමාල් රණසිංහට සමාව දීම.
පහර කෑමට ලක්වූ සිනමා විචාරකයාට මාධ්‍යවලින් හෝ සමාජ මාධ්‍යවලින් කිසිදු ආකාරයක නින්දා අපහාසයක් සිදු නොකිරීමට එකඟ වීම.
තමන් කළ වරදට හේමාල් රණසිංහ රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් අගතියට පත් ලක්මිණ රණසිංහට ලබාදීමට එකඟ වීම.
කෙසේ වෙතත්, සමථ මණ්ඩල වාර්තාවෙහි සඳහන් තෙවන කොන්දේසිය පරිදි අගතියට පත් පාර්ශ්වයට කිසිදු ආකාරයක නින්දා අපහාසයක් සිදු නොවීමට එකඟ වුවද, සමාජ මාධ්‍ය ඔස්සේ තවමත් අගතියට පත් පාර්ශ්වයට නින්දා අපහාස සිදුකරමින් පවතින බව අගතියට පත් ලක්මිණ රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණය හමුවේ වැඩිදුරටත් දන්වා සිටියා.