ඔව්, මේ දවස්වල ඇහෙන ආරංචි එක්ක බැලුවම ඒක විහිළුවකට ගන්න නම් කොහෙත්ම බැහැ! රටම භීතියට පත් කරමින් ඩෙංගු මාරයා මේ වන විටත් ජීවිත දඩයම අතිශය දරුණු ලෙස ආරම්භ කර ඇති බවට බියකරු සංඛ්‍යාලේඛන වාර්තා වෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ අලුත්ම දත්තවලට අනුව, මේ වසරේ ගතවූ කාලය තුළදී පමණක් ඩෙංගු රකුසාට බිලිවුණු අහිංසක මිනිස් ජීවිත ගණන 73ක් දක්වා ඉහළ ගොස් අවසන්! ඒ විතරක් නෙවෙයි, මේ දක්වා රෝහල්ගත කර ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,363ක් වැනි අතිවිශාල අගයකට ළඟා වෙලා තිබෙනවා.
වඩාත්ම බය හිතෙන කතාව තමයි, සැප්තැම්බර් මාසේ උදාවෙලා මුල් දවස් 4 ගෙවෙන්නත් කලින් රෝගීන් 872 දෙනෙකු අලුතින්ම හඳුනාගෙන තිබීම! ඒ කියන්නේ දවසකට රෝගීන් 200කටත් වඩා වැඩි පිරිසක් මේ මාරක උණ රෝගයට ගොදුරු වෙනවා කියන එකයි.
වැස්සත් එක්ක වටපිටාවේ වතුර පිරෙන තැන් ගැන නොසලකා හිටියොත්, ඊළඟ ගොදුර ඔබේ නිවසේ ආදරණීයයෙක් වෙන්නත් බැරි නැහැ. ඒ නිසා තමන්ගේ වටපිටාව පිරිසිදුව තියාගෙන, උණ ගැන සැහැල්ලුවෙන් හිතන්නේ නැතුව වහාම වෛද්‍ය උපදෙස් ගන්න කියලා සෞඛ්‍ය අංශ දැඩිව මතක් කර සිටිනවා.