හැමෝම කුතුහලයෙන් හිටපු ඇපල් සමාගමේ පළමු Foldable හෙවත් දෙකට නැමිය හැකි අයිෆෝන් එක ලෝකයටම හෙළිදරව් කරලා තියෙන්නේ තාක්ෂණ ලෝකයම උඩුයටිකුරු කරමින්.
මේක නිකන්ම නිකන් ලෝන්ච් එකක් නෙවෙයි. ඇපල් එකේ අලුත්ම ලොක්කා John Teus වැඩ භාර අරන් සති දෙකක් යන්නත් කලින් ගහපු සුපිරි ගේමක්. iPhone Duo කියලා නම දාලා තියෙන මේ අලුත්ම මැජික් භාණ්ඩය පොතක් වගේ දෙපැත්තට නමන්න පුළුවන් විදියටයි හදලා තියෙන්නේ. වැඩේ කියන්නේ, මේක දිග ඇරියාම පොඩි iPad එකක් වගේ පාවිච්චි කරන්නත්, නැමුවාම සාමාන්‍ය අයිෆෝන් එකකට වඩා පළලින් යුත් ෆෝන් එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. ලොක්කා කියන්නේ මේක iPad එකෙන් ආභාසය අරන් හදපු සුපිරි නිර්මාණයක් කියලයි.
හැබැයි ඉතින් මේක ඇපල් ඉතිහාසයේ එළිදක්වපු විශාලතම වගේම, වැඩිම මිලක් තියෙන අයිෆෝන් එක. ඇමෙරිකාවේ මෙහි ආරම්භක මිල ඩොලර් 1,999ක්! ඉහළම මාදිලිය ඩොලර් 3,200ක් දක්වා ඉහළ යනවා. එක්සත් රාජධානියේ මිලත් පවුම් 1,999කින් තමයි පටන් ගන්නේ. ලංකාවේ මුදලින් බැලුවොත් ඇස් උඩ යන ගාණක්! Samsung, Huawei කලින්ම මේ වැඩේ කළත්, මෙච්චර ලොකු ගාණකට මේක විකුණගන්න එක ඇපල් එකට ලේසි වෙයිද කියලා දැන්මම කට්ටිය කසුකුසු ගාන්න පටන් අරන්.
ඔන්න ඒ අස්සේ සාමාන්‍ය විදියේ ෆෝන් කැමති අයට iPhone 18 Pro සහ iPhone 18 Pro Max කියන අලුත් මොඩලුත් එක්කම, හිතාගන්නවත් බැරි තරම් දියුණු කරපු Siri AI එකත් ඇපල් සමාගම එළිදක්වලා තියෙනවා.
දැන් Siriට පුළුවන්ලු අපේ මැසේජ්, ඊමේල් ඔක්කොම පෙරළලා බලලා, අපිට ඕන දේවල් හොයලා දෙන ගමන් අපේ වැඩ පවා කරලා දෙන්න. පෞද්ගලික තොරතුරු පිටට යන්නේ නැති විදියට දුරකථනය ඇතුළෙන්ම මේ හැමදේම සිද්ධ වෙන බවයි ඇපල් එක කියන්නේ.
කොහොම වුණත්, මේ අලුත් නැමෙන ෆෝන් එක නම් ඉදිරි මාස කිහිපයේ සෝෂල් මීඩියාවල ලොකුම මාතෘකාව වෙන එක නවත්වන්න කාටවත් බැරි වෙයි!