මගීන් පිරිසක් රැගෙන ධාවනය වූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ ඛේදනීය අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 44 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
මෙම අවාසනාවන්ත අනතුර ඊයේ (01) සිදුව ඇත්තේ ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජියර්ස් (Algiers) සිට කිලෝමීටර 50ක් පමණ නැගෙනහිරින් පිහිටි බුමර්ඩෙස් (Boumerdes) පළාතේ එල් කර්මා (El Karma) ප්‍රදේශයේදීයි.
ඇල්ජීරියානු සිවිල් ආරක්ෂක බලකාය සඳහන් කරන්නේ සෙටිෆ් ප්‍රදේශයේ සිට ධාවනය වූ මෙම බස් රථයේ රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකි වීම නිසා රථය මහා මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස ප්‍රපාතයට පෙරළී ඇති බවයි.
අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ හදිසි මුදාගැනීමේ කණ්ඩායම් පැය ගණනාවක දැඩි ශ්‍රමයක් යොදවා තුවාලකරුවන් බේරාගෙන අසල රෝහල් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව එරට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.