මහ රෑ කරුවලේ වන අලියෙකුගේ ඇඟේ මෝටර් රථයක් හැප්පීමෙන් සිදුවුණු මේ අනතුර නිසා මෝටර් රථයට නම් බරපතළ හානි වෙලා තියෙනවා. හැබැයි වාසනාවකට ඒකේ ගමන් කරපු 4 දෙනෙක් පණ බේරගත්තේ අනූනවයෙන්!
මේ සිදුවීම වෙලා තියෙන්නේ අද (03) අලුයම 1.10 ට පමණ මින්නේරිය ජාතික වන උද්‍යානය හරහා වැටී ඇති හබරණ - මින්නේරිය ප්‍රධාන මාර්ගයේදී. අලුයම් කාලයේ මේ පාරේ තිබුණු දැඩි අඳුරු ස්වභාවය නිසා මාර්ගය හරහා හිටපු දැවැන්ත වන අලියාව රියදුරුට එකපාරටම පෙනිලා නැහැ. ඒ එක්කම වේගයෙන් ආපු මෝටර් රථය අලියාගේ ඇඟේ ගැටිලා තියෙනවා.
කාර් එක හැප්පුණු පාරට වන අලියාට හොඳටම කේන්ති ගිහින්. උරණ වුණු අලියා එකපාරටම මෝටර් රථයට දැඩි ප්‍රහාරයක් එල්ල කරන්න පටන් අරන්. මේ භයානක තත්ත්වය තේරුම් ගත්තු කාර් එකේ හිටපු පිරිස, තත්පරයක්වත් පරක්කු වෙන්නේ නැතුව ක්ෂණිකව වාහනයෙන් එළියට පැනලා දිව ගිහින් තියෙනවා. ඔවුන්ගේ ඒ ඉක්මන් තීරණය නිසා තමයි අද ඔවුන් නිරුපද්‍රිතව ජීවතුන් අතර ඉන්නේ.
මෙම මෝටර් රථයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් ඕටමාවඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මේ දවස්වල රෑ කාලයේ කැලෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල ගමන් කරනවා නම්, රියදුරන් මීට වඩා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කියන එකට මේක හොඳම උදාහරණයක්. ඔබේ ජීවිතය වගේම අහිංසක වන සතුන්ගේ ජීවිතත් වටිනා බව නිතරම මතක තබාගන්න!