බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
උතුරු - මැද පළාතේ වැසි වාර කීපයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
ඌව සහ නැගෙනහිර පළාත් වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුරු - මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, දිස්ත්‍රික්ක 05කට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ පොල්පිටිය, මොරහේනගම ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි සිටි අවුරුදු 47, 83 සහ 58 හැවිරිදි කාන්තාවන් තුන්දෙනෙකු සහ 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එමෙන්ම වටවල, ඥානාන්දගම මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති පාලම මතින් ගමන් කරමින් සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු මහවැලි ගඟට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නාවලපිටිය, සෝලංකන්ද, ජනඋදාන ගම්මානයේ පුද්ගලයෙක් ද වෙළෙඳසලක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර නාවලපිටිය පස්බාගේ කෝරළයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර ඊයේ තහවුරු කළා.
එමෙන්ම ගිනිගත්හේන, අඹගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු ජල පහරකට හසුව අතුරුදහන්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, එලෙස අතුරුදහන්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බවයි.