මේ කියන්න යන්නේ ටැන්සානියාවේ පාසලක සේවය කරන "වකාටි ජෝසෆ් කැලොන්ඩා" (Wakati Joseph Kalonda) කියන උතුම් ගුරුවරයා ගැනයි. ඔහු තමන්ගේ පාසල් දවස ආරම්භ කරන්නේ ඔහුගේ සිසුන්ට විතරක් නෙවෙයි, මුළු ලෝකයටම කවදාවත් අමතක නොවන විදිහේ අපූරු ආදර්ශයක් දෙමින්.
පන්තියේ පාඩම් පටන් ගන්න කලින්, මේ ගුරුවරයා පොළොවේ බිම දණගහගෙන තමන්ගේ දෘශ්‍යාබාධිත අහිංසක දරුවන්ගේ සපත්තු වල තියෙන දූවිලි ඉතාමත් ආදරයෙන් තමන්ගේම දෑතින් පිසදාලා පිරිසිදු කරනවා.
ඔහු මේක නිකන්ම නිකන් කරන්නං වාලේ කරන රාජකාරියක් නෙවෙයි. හැම දරුවෙකුටම ඉමහත් ඉවසීමෙන්, ගෞරවයෙන් සහ පිය සෙනෙහසින් සලකන ඔහු, දරුවන් පාසලට එනකොටම ඔවුන්ව පිළිගන්නේ හරිම ආදරණීය විදිහට.
"ඔයා හරිම ලස්සනයි...", "ඔයාට මේක කරන්න පුළුවන්...", "මම ජයග්‍රාහකයෙක්..." වැනි හදවතට ශක්තියක් දෙන වචනවලින් ඔහු පුංචි පැටවුන්ව දිරිගන්වනවා. පන්තියට යන්න කලින් ඒ අහිංසක දරුවොත් තමන්ගේ ආදරණීය සර්ට මේ වචන නැවත කියනවා. මේ දරුවන්ගෙන් වැඩි දෙනෙක් කියන්නේ සමාන සමාජයක ජීවත් වෙද්දී අපිට හිතාගන්නවත් බැරි තරම් ලොකු අභියෝග රැසකට මුහුණ දෙන පිරිසක්.
මේක හුදෙක් කතාවක් නෙවෙයි. ටැන්සානියාවේ පාසලකින් වාර්තා වූ අතිශය සංවේදී සත්‍ය සිදුවීමක්.
වකාටි ජෝසෆ් කැලොන්ඩා නමැති මේ ගුරු දෙවිඳුන් කිසිදු මිල අධික උපකරණයක් හෝ ලොකු දේශන නැතිව, දූවිලි වැකුණු සපත්තු පිසදමමින් ආදරණීය වචන කිහිපයකින් දරුවන්ගේ ආත්ම විශ්වාසය ගොඩනංවන ආකාරය දැක්වෙන වීඩියෝව මේ වන විටත් ලොව පුරා සමාජ මාධ්‍ය අතික්‍රමණය කරමින් මිලියන ගණනකගේ නෙතට කඳුළක් එක්කර තිබෙනවා.