කොළඹ 7 ප්‍රධාන උත්සව ශාලාවකදී පැවැති අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගයකදී, ආරක්ෂිත සතෙකු වන පිඹුරෙකු ගෙල වටා රඳවාගනිමින් නර්තනය ඉදිරිපත් කළ 18 හැවිරිදි තරුණියකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 50,000ක දඩයක් නියම කර තිබෙනව බවට වාර්තා වෙනවා..
මීට අමතරව, අදාළ නර්තනාංගය ඉදිරිපත් කිරීම සඳහා තරුණිය වෙත රුපියල් 25,000ක මුදලකට මෙම පිඹුරා විකුණා (සපයා) ඇති බව කියන අනුරාධපුර, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයාට රුපියල් ලක්ෂ දහයක (1,000,000) දඩයක් අධිකරණය විසින් නියම කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් මාසයේදී කොළඹ 7 පිහිටි ප්‍රසිද්ධ උත්සව ශාලාවකදී පවත්වන ලද අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ උත්සවයකදී මෙම සිදුවීම සිදුව ඇති අතර, එහිදී එක් තරුණියක් පිළිබඳව සැමදෙනාගේම අවදානය යොමු වුණේ මෙන්න මේ සිද්ධිය නිසායි.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත සතෙකු ලෙස නම් කර ඇති පිඹුරෙකු නීති විරෝධී ලෙස සන්තකයේ තබාගැනීම, ප්‍රදර්ශනය කිරීම සහ සත්වයාට හිංසා වන පරිදි හැසිරීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුව පවරා තිබුණා.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් වනජීවී නිලධාරීන් විසින් පවත්වන ලද විමර්ශනවලින් අනතුරුව අදාළ සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලද වනසත්ව පනත උල්ලංඝනය කරමින් ආරක්ෂිත සතුන් ප්‍රදර්ශන හෝ විනෝදාත්මක කටයුතු සඳහා යොදාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව වනජීවී දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙනවා..