නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරු ඒ.එම්.සාධික් මහතා සඳහන් කළේ, හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, රොසැල්ල ප්‍රදේශයෙන් මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ දැඩි අවධානම් තත්ත්වයකට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් අදාළ ස්ථානයේ රථවාහන ධාවනය දැනට එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා.
පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වා ගමන් ගන්නා සියලුම රියදුරන් දැඩි අවධානයෙන් සහ සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසයි විධායක ඉංජිනේරුවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
මේ අතර, හැටන් ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයට ඇල්බින්වත්ත ප්‍රදේශයෙන් විශාල ගලක් පෙරළීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා පැමිණ තිබුණා.
කෙසේ වෙතත්, ආගරපතන ප්‍රාදේශීය සභාව මැදිහත් වී ප්‍රදේශවාසීන්, බස් රථ රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ මගීන්ගේද සහයෝගය ඇතිව එම විශාල ගල කඩා ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද (06) සිට එම මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.