ශ්‍රී ලාංකේය කලාකෙත බොදු ගීතයෙන් පෝෂණය කළ ප්‍රවීන ගේය පද රචක, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ නාහිමියන්ගේ අපවත් වීමේ පුවත මුළු රටම අහන්නේ දැඩි කම්පනයකින්.
කාලයක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් හිටපු උන්වහන්සේ ඊයේ (18) අපවත් වෙනකොට වයස අවුරුදු 76ක්. ආරංචි වන විදියට උන්වහන්සේගේ ශ්‍රී දේහය අද (19) දහවල් ඉඳන් උන්වහන්සේ විහාරාධිපතිව වැඩ හිටිය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කරන්නයි කටයුතු සූදානම් කරලා තියෙන්නේ.
1950 මැයි 22 දෙනියාය රඹුකන ගමේ ඉපදිලා, මොරවක, වැලිව, බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් හා පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවෙණෙන් අධ්‍යාපනය ලබා, ලාංකේය ගීත කලාවට අලුත්ම පෙරළියක් ගෙනාපු සිද්ධාර්ථ හාමුදුරුවෝ තමන්ටම ආවේණික රටාවකින් මිනිස්සුන්ගේ හිත්වල අපූර්ව සැදැහැ සිතුවිලි ජනිත කළා.
අපේ මතකයේ රැඳුණු අමරණීය ගීත රැසක්ම නිමැවුණේ උන්වහන්සේගේ අතිවිශිෂ්ට පන්හිඳෙන්,
ගුණදාස කපුගේ ශූරීන්: පිහිටක් නැති සරණක් නැති, සද්ධර්ම මකරන්ද
වික්ටර් රත්නායකයන්: බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, කාසිවලට ගන්නත් බැහැ
විශාරද මාලිනී බුලත්සිංහල: හිමි සණරාමර, පිපෙනා මලකට, සෙනෙහස පුදා, බුදු බණ ඇසුවා
කරුණාරත්න දිවුල්ගනේ: ලා දළු බෝපත්, වෙහෙරක් වගේ
ඒ විතරක් නෙවෙයි, තමන්ගේ ගීත කලාව එකම රාමුවකට කොටු නොකළ උන්වහන්සේ "පන්සලේ - පල්ලියේ", "බණ කියන රටක්", "මේ ප්‍රේම කතා නවතා මොහොතක්", "මේ ඉර හඳ යට", "සියක් ආයු ලැබ", "අව්වට වැස්සට හුරු මිනිසුන්නේ", "අනුරාධපුරේ අනුරාව නැගූ" මෙන්ම, "සඳ තරු මල් මට දන් දුන්" වැනි විවිධ මානයන් ස්පර්ශ කළ ගීතත් ලාංකේය සංගීතයට දායාද කළා.
මේ අපූරු යතිවරයාණන්ගේ අදාහන පූජෝත්සවය ගැන ඉදිරියේදී දැනුම් දෙනවා කියලයි පවුලේ ඥාතීන් වැඩිදුරටත් කියලා තියෙන්නේ.
සිංහල ගීත කලාවට මෙවන් අගනා දායාදයන් තිළිණ කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ට, අමා මහා නිවන් සුව ප්‍රාර්ථනා කරමු!