ඔහු නමින් සරත් මුදුන්කොටුව. වෘත්තියෙන් විශ්‍රාමික ඉංජිනේරුවරයෙක්.
ජීවිතේ තමන් පණ වගේ ආදරය කරපු බිරිඳ සහ එකම පුතු මෙලොවින් සමුගනිද්දී ඕනෑම මනුස්සයෙක් මානසිකව ඇද වැටෙන එක සාධාරණයි. සරත් මහතාගේ හදවතත් ඒ දරුණු වියෝවෙන් කෑගසා හඬන්නට ඇති. නමුත් ඔහු තමන්ගේ ඒ පෞද්ගලික වේදනාව ප්‍රසිද්ධිය හෝ දේශපාලන වාසි ලබාගන්නා වේදිකාවක් කරගත්තේ නැහැ. ඒ වෙනුවට ඔහු තෝරාගත්තේ මුළු ලෝකයම පුදුම කරපු, දෑසට කඳුළු උනන උදාර තීරණයක්....
තමන් සතුව හෝමාගම ප්‍රදේශයේ තිබූ අතිශය වටිනා ඉඩමක් විකුණා දැමූ සරත් මහතා, එම සම්පූර්ණ මුදලම වෙන් කළේ හිසට සෙවණක් නොමැතිව අන්ත අසරණව සිටි පවුල් වෙනුවෙනුයි.
ඒ අනුව පාදුක්ක ප්‍රදේශයේ අතිශය දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වූ, නිවාස අහිමි පවුල් 11ක් වෙනුවෙන් අංගසම්පූර්ණ ස්ථිර නිවාස 11ක්ම තමන්ගේ පෞද්ගලික ධනයෙන් ඉදිකර දී, ඒවායේ හිමිකාරීත්වය එම අසරණ ජනතාව වෙත පවරා දීමට ඔහු කටයුතු කර තිබෙනවා.
එපමණක් නොව, එම පවුල්වල දරුවන්ගේ මානසික සුවය සහ අනාගතය වෙනුවෙන් සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමක තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අලංකාර ළමා උද්‍යානයක් නිර්මාණය කර දීමටත් මේ උදාර මිනිසා අමතක කර නැහැ.