පසුගිය පැය 24ක කාලය තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 1,195 දෙනෙකු වාර්තා වීමත් සමඟයි තත්ත්වය මෙතරම් දරුණු වී ඇත්තේ. වසංගතයක් සේ පැතිර යන මෙම දරුණු රෝගී තත්ත්වය හේතුවෙන් මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 49 ක්..
මෙවැනි බිහිසුණු පසුබිමක, ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 63ක් ආවරණය කරමින් යළිත් වරක් දැවැන්ත විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
රට පුරා ප්‍රදේශ රැසක මේ වනවිටත් ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කර ඇති අතර, ගාල්ල බන්ධනාගාර පරිශ්‍රය තුළ ඩෙංගු ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුවීම නිසා එම පරිශ්‍රය සම්පූර්ණයෙන්ම දුමායනය කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.
එමෙන්ම, බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් කොස්වත්ත රුහුණුපුර ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ඊයේ දියත් කළ අතර, එහිදී මදුරු කීටයන් බෝවන ලෙස පරිශ්‍රය තබාගෙන සිටි ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයේ බටපොත වැඩභාර නිලධාරී කාර්යාලයට එරෙහිව නීතිමය පියවර ගනිමින් නඩු පැවරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටින්නේ තම අවට පරිසරය පිරිසිදුව තබාගනිමින් මෙම මාරාන්තික රෝගයෙන් ආරක්ෂා වන ලෙසයි.