'මයි ලෙෆ්ට් ෆුට්' (My Left Foot) චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ මෙන්ම ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් අයර්ලන්ත ජාතික ප්‍රවීණ රංගන ශිල්පිනී බ්‍රෙන්ඩා ෆ්‍රිකර් (Brenda Fricker) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය 81 වැනි වියෙහි පසුවුණා.1989 වසරේ තිරගත වූ 'My Left Foot' චිත්‍රපටයේ ඩැනියෙල් ඩේ-ලුවිස්ගේ මවගේ චරිතය විශිෂ්ට ලෙස නිරූපණය කිරීම වෙනුවෙන් ඇය 1990 වසරේදී හොඳම සහය නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවා.
ලෝප්‍රකට 'Home Alone 2: Lost in New York' (1992) චිත්‍රපටයේ සෙන්ට්‍රල් පාර්ක් හි සිටින, පරෙවියන්ට කෑම දෙන කාරුණික කාන්තාවගේ (Pigeon Lady) චරිතය හරහා ඇය ලාංකීය ප්‍රේක්ෂකයන් ඇතුළු ලොව පුරා පරම්පරා ගණනාවකගේ මතකයෙහි රැදෙනවා.
මීට අමතරව BBC නාලිකාවේ සුප්‍රසිද්ධ 'කැෂුවල්ටි' (Casualty) ටෙලි වෘත්තාන්තයේ 'මේගන් රෝච්' නම් හෙද නිළියගේ චරිතයට 1986 සිට 2010 වසර දක්වා ඇය පණ දුන්නා.
ඇයගේ අභාවය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇයගේ නියෝජිත ෆිල් බෙල්ෆීල්ඩ් මෙසේ පවසා ඇත්තේ මෙවැන්නක්.. "ඇය වැනි තවත් කෙනෙකු අපට කිසිදා දැකගත හැකි වෙන්නේ නැහැ. ඇයගේ නික්ම යාමෙන් මේ ලෝකය පාලු වී තිබෙනවා.
ඇයව හඳුනා ගැනීමට, ඇයට ආදරය කිරීමට සහ ඇය සමඟ වැඩ කිරීමට ලැබීම මා ලැබූ ගෞරවයක්.
ලොව පුරා සිටින සිනමා සහ රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ ඇයට සැමදා සුවිශේෂී ස්ථානයක් හිමිවනු ඇතයි."


