වත්මන් රජය විසින් වාහන ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමා කිරීම් හේතුවෙන් ඉදිරියේදී දේශීය වෙළෙඳපොළ තුළ බරපතළ සංකූලතා රැසක් මතුවීමේ අවදානමක් පවතින බව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයකු වන ධනනාත් ප්‍රනාන්දු පෙන්වා දෙනවා.
රටේ පවතින වත්මන් වාහන අවශ්‍යතාව මේ වන විට යම් මට්ටමකට සපුරා තිබීම හේතුවෙන්, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ වාහන ආනයනයෙන් ලැබෙන බදු ආදායම සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇති බව ද ඔහු සඳහන් කළා.
වාහන ආනයන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, එළඹෙන අගෝස්තු 15 වැනිදායින් පසුව මෙම ආනයන ප්‍රතිපත්තිය තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව රජය ගන්නා තීරණය සමස්ත වෙළෙඳපොළටම අතිශය තීරණාත්මක වනු ඇති බවයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවලට අනුව අමතර අධිභාර පැනවීමට නොහැකි වුවද, රජය මෙම අධිභාර ඉවත් කළහොත් නැවත වරක් වෙළෙඳපොළ තුළ යම් කම්පනයක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
පසුගිය කාල වකවානුවේ පැවති දැඩි වාහන ඉල්ලුම මේ වන විට බොහෝ දුරට පූර්ණය වී ඇති බැවින් සහ ආනයනකරුවන් ද අවශ්‍ය ප්‍රමාණයට වාහන ගෙන්වා ඇති බැවින් වාහන ලියාපදිංචිය ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වාහන ආනයන බදු ආදායම පසුගිය වසරේ මට්ටමට ළඟා නොවන බව ඔහුගේ පුරෝකථනය වී තිබෙනවා.
දැනටමත් වාහන සඳහා 150% ක් සහ 200% ක් වැනි අධික තීරුබද්දක් අය කරන බැවින් තවදුරටත් එවැනි බදු පැනවීම අසාධාරණ බව පෙන්වා දෙන ධනනාත් ප්‍රනාන්දු, රජය එකම පිරිසකගෙන් දිගින් දිගටම බදු අයකර ඔවුන් වෙහෙසට පත් නොකර රජයේ වියදම් නිසි ලෙස කළමනාකරණය කරගත යුතු බව අවධාරණය කර සිටිනවා.
එමෙන්ම ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම හරහා බදු ආදායම යම් ප්‍රමාණයකට වැඩි කරගත හැකි බවත්, එමඟින් මෙරට ආර්ථිකය ඉදිරියට ගමන් කරන බවට වන ශක්තිමත් සංඥාවක් වෙළෙඳපොළ වෙත ලබා දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.