හබරාදුව ප්‍රාදේශිය සභාව අසළ පිහිටි ලියනගොඩ දුම්රිය හරස් මාර්ගයේදී පියෙකු සහ කුඩා පුතෙකු ගමන් ගත් ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී දරුණු අනතුරකට ලක්ව තිබෙනවා.
ඉමදුව, පරගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම පියා, අද සවස් වරුවේ තම කුඩා පුතු හබරාදුව පෙර පාසලේ සිට නැවත නිවසට රැගෙන යමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ. ගාල්ලේ සිට මාතර දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියේ ත්‍රිරෝද රථය ගැටී ඇති බව හබරාදුව පොලිසිය පවසනවා.
ඇසින් දුටුවන් පවසන්නේ දුම්රිය ත්‍රිරෝද රථයේ වදිනවාත් සමගම, එහි සිටි කුඩා දරුවා රථයෙන් ඉවතට විසිවී ගිය බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ පියා සහ පුතා වහාම කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ අනතුරට පත් කුඩා දරුවාගේ තත්ත්වය බරපතල බැවින් මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවයි.
දුම්රිය හරස් මාර්ග වලදී ඔබත් ඔබේ ආදරණීයයන්ගේ ආරක්ෂාව ගැන දෙවරක් සිතන්න. මොහොතක නොසැලකිල්ල ජීවිත කාලයකම පසුතැවීමක් විය හැකියි.