තම කණ්ඩායමට වීසා නිකුත් කිරීම පිලිබඳ ලිඛිත සහතිකයක් ලබා නොදෙන්නේ නම්, මේ වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ නොපවත්වන ලෙස පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් ඉල්ලීමක් කරනවා.
එහි සභාපති එෂාන් මානි සඳහන් කළේ පාකිස්ථාන කණ්ඩායමට ඉන්දියාවේදී ක්‍රීඩා කළ නොහැකි බවක් තම රජය විසින් දැනුම් දී නොමැති බවයි.
තරගාවලියට සහභාගි වන බව පාකිස්ථානය අයි.සී.සී. ය වෙත දැනුම්දී තිබෙනවා.
එහිදී පාකිස්ථාන ක්‍රිකට් පිලට පමණක් නොව මාධ්‍යවේදීන්, පාලක මණ්ඩල නිලධාරින් සහ ක්‍රීඩා ලෝලීන්ට ද වීසා බලපත් නිකුත් කිරීමට ඉන්දියාව බැඳී සිටින බව පාකිස්ථාන පාලක මණ්ඩලයේ සභාපතිවරයා අවධාරණය කළා.
ඒ සඳහා ලිඛිත සහතිකයක් ලබාදීමට ඉන්දියාව අපොහසත් වුවහොත් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්විය හැකි බවට ද ඔහු යෝජනා කරනවා.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට තීරණය කෙරුණේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය මැද පසුගිය වසරේ එම තරගාවලිය ඕස්ට්‍රේලියාවේ නොපැවැත්වීම හේතුවෙන්.