තමන්ගේ සහෝදරිය මියගිය බව ඔප්පු කරන්න ඇගේ සොහොන හාරලා ඇටසැකිල්ලම අරගෙන බැංකුවට ගිය සහෝදරයෙක් ගැන පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වෙනවා.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඉන්දියාවේ ඔදිෂා ප්‍රාන්තයේ. 50 හැවිරිදි ජීතු මුන්ඩා කියන පුද්ගලයාට හදිසියේම මුදල් අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ වෙනකොටත් ඔහුගේ සහෝදරිය වන 'කරා' මියගිහින් මාස තුනක් විතර වෙනවා.
ඇගේ බැංකු ගිණුමේ තිබුණු රුපියල් 20,000ක මුදලක් ලබාගන්න ඔහු කිහිප වතාවක්ම බැංකුවට ගිහින් තිබුණා.
ජීතු බැංකුවට ගිහින් කිව්වේ තමන්ගේ නංගි මියගිය නිසා ඇගේ ගිණුමේ තියෙන මුදල් තමන්ට ලබාදෙන ලෙසයි. හැබැයි බැංකුවේ නිලධාරීන්ගෙන් ලැබුණේ අමුතුම පිළිතුරක්.
"නංගි මැරුණා කියලා විතරක් මදි, මුදල් ඕනේ නම් ඇයව බැංකුවටම කැඳවාගෙන එන්න!" මේ විකාර සහගත ඉල්ලීමෙන් පස්සෙ ජීතු කිහිප වතාවක්ම කරුණු පැහැදිලි කරන්න උත්සාහ කළත් වැඩක් වෙලා නැහැ.
බැංකුවේ නිලධාරීන් මරණ සහතිකය ගැන හෝ අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය ගැන නිසි උපදෙස් නොදී ඔහුට දිගින් දිගටම බල කරලා තියෙන්නේ සහෝදරියව එක්කගෙන එන ලෙසයි.
බැංකු නිලධාරීන්ගේ හැසිරීමෙන් දැඩි ලෙස කලකිරුණු සහ කෝපයට පත් ජීතු ඊළඟට ගත්තේ මාරක තීරණයක්. කෙලින්ම ගමේ සොහොනට ගිය ඔහු, මාස තුනකට කලින් වළලපු සොහොයුරියගේ මිනීවළ හාරලා ඇගේ ඇටසැකිල්ල එළියට ගත්තා!
එතැනින් නොනැවතුණු ඔහු එම ඇටසැකිල්ල කර තබාගෙන කිලෝමීටර් 3ක් පයින්ම බැංකුව වෙත ගමන් කළේ මඟ තොටේ මිනිසුන් මවිතයට පත් කරමින්.
බැංකුවේ කළමනාකරු ඉදිරිපිට ඇටසැකිල්ල තැබූ ඔහු අභියෝගාත්මකව පවසා ඇත්තේ "මෙන්න මගේ සහෝදරිය, දැන්වත් මට සල්ලි දෙන්න!" කියලායි.
මේ භීෂණ දර්ශනයෙන් බැංකු නිලධාරීන් ගල් ගැසුණු අතර, වහාම ක්‍රියාත්මක වූ ඔවුන් රුපියල් 20,000 මුදල ජීතු වෙත ලබා දීමට අවසර ලබා දී තිබෙනවා. ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පවසන්නේ බැංකුවේ නොසැලකිලිමත්කම සහ දුප්පත් මිනිසුන්ගේ ගැටලු තේරුම් නොගැනීම නිසා මේ වගේ අවාසනාවන්ත තත්ත්වයක් ඇති වූ බවයි.
මුදල් වෙනුවෙන් මිනී වළවල් හෑරීම සදාචාරාත්මක නොවූවත්, ඇතැම් විට නීති රීතිවල ඇති දරදඬු බව මිනිසුන්ව මේ වගේ අන්තගාමී තීරණවලට තල්ලු කරන බවට මේ සිදුවීම කදිම උදාහරණයක්.