Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
20
" එයාගේ අවසන් සුසුමත් ලේ බින්දුවත් මුසු වුණු ඒ කැලේදි දියණිය මම ලලිත් පළමු වතවට මුණගැහුනා වගේ හැගීමක් මට දැනුණා " පුරාවෘත්තයක් බඳූ වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහය ගැන බිරිඳ කියන කතාව

- " එයාගේ අවසන් සුසුමත් ලේ බින්දුවත් මුසු වුණු ඒ කැලේදි දියණිය මම ලලිත් පළමු වතවට මුණගැහුනා වගේ හැගීමක් මට දැනුණා " පුරාවෘත්තයක් බඳූ වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහය ගැන බිරිඳ කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27 Views

අපේ රට වෙලාගෙන තිබුණු කුරිරු ත්‍රස්තවාදයෙන් රටේ නිදහස ආරක්ශා කර දීමට දහස් ගණනක් රණවිරුවන් සිය දිවි දෙවැනි කොට කැපවුණා... 


ඇස් ඉස් මස් ලේ දන්දුන්නා... ඒ මෙහවර අමිලයි... බොහෝ මවුවරුන්ට සිය පුතුන් , බිරින්දෑවරුන්ට සැමියන්, දරුවන්ට පියවරුන් අහිමිවී ගියා... එලෙස සිය ජිවිත පරිත්‍යාගයෙන් ලක් මවුන්ගේ ස්වේරීත්වය රැක ගන්න ජිවිතය කැපකළ අහීත වීර සෙන්පතියෙක් තමයි ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහය ...

රට වෙනුවෙන් දිවි පිදු යුද හමුදාවේ වීර සෙන්පති ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහය ගේ සෙනෙහබර බිරිඳ කෞශල්‍යා ජයසිංහ පුවත්පතකට සිය මතක අවදි කර තිබුණා...

ලක්ෂ දෙකක් පමණ වූ යුද හමුදාවේ දිගුදුර මෙහෙයුම් කරන සෙබළුන් සිටින්නේ අතළොස්සකි.

ඒ පිරිස අතරින් පුරාවෘත්තය වන්නේ යුද හමුදා විශේෂ බළකායේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහය.

සෙබළෙකුට දිනාගත හැකි ඉහළම පදක්කම වූ පරම වීර විභූෂණ පදක්කමට හිමිකම් කී ඔහු රට වෙනුවෙන් දිවි පිදුවේ මුලතිව් ඔඩ්ඩුසුඩාන් වනයේ විශේෂ මෙහෙයුමක යෙදී සිටියදීය.

විශේෂ බළකායේ දිගුදුර මෙහෙයුම් ඒකකයට අණ දුන් ඔහුගේ පැවරුම වූයේ කොටි පාලන ප්‍රදේශයට ඇතුළු වී කිලෝමීටර් තිහ හතළිහක් පා ගමනේ ගොස් මග රැක සිට සතුරු ඉලක්ක ගැනීමය.

ලුතිනන් කර්නල් ජයසිංහගේ ඉලක්කයට හසු වූ ප්‍රධානම කොටි නායකයා වන්නේ ප්‍රභාකරන්ගේ දකුණු අත ලෙස හැඳින්වූ කොටි ගුවන් හමුදාපති ශංකර්ය.

එම මරණයෙන් ප්‍රභාකරන් කෙතරම් භීතියට පත් වූවේදැයි කියනවා නම් සටන් විරාමයට ගොස්, දිගු දුර මෙහෙයුම් නොකරන්නැයි කියමින් කොන්දේසියක්ද පනවා ගත්තේය.

එනමුත් ලලිත් ජයසිංහලා කළ වීර වික්‍රමාන්විත ක්‍රියා යුද්ධය පැවැති කාලයේ කරළියට නොආවේ එය එතරම් රහසිගතව කළ මෙහෙයුම් බැවිනි.

කොටින්ම කියනවානම් ලලිත් ජයසිංහගේ බිරිඳ කෞශල්‍යා ජයසිංහ පවා තම සැමියාගේ රාජකාරිය හරිහැටි දැනගෙන සිටියේ නැත.

ලලිත් ජයසිංහගේ වටිනාකම කොතරම්ද කියනවා නම් ඔහු රට වෙනුවෙන් දිවි පිදූ බව දැනගත් මොහොතේ දැඩි සිත් ඇත්තෙකු ලෙස ප්‍රකට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හැඟුම්බර වූවේය.

එවැනි දෙයක් ඔහුගේ සමීපතමයන් දැන තිබුණේ ඔහුගේ දියණියගේ විවාහ මංගල්‍යයේදී පමණි.

දාසය වසරකට පෙර ප්‍රභාකරන් මරා දමා යුද්ධය අවසන් වූයේ හෙට (19) වැනි දවසකය.

එම ආරංචිය ලැබෙන මොහොතේ කෞශල්‍යා ජයසිංහ සිටියේ පාර්ලිමේන්තුවේ ජනපතිවරයාගේ විශේෂ කතාව අසමිනි.

දෙදහස් නවයේ මැයි දහනම වැනිදා ශ්‍රී ලාංකික අපට සුවිශේෂ දවසක්. එදා ඔබට පාර්ලිමේන්තුවට පැමිණෙන්නට ආරාධනයක් ලැබෙනවා. ඒ ආරාධනය ගැන මුලින්ම දැනගන්න කැමතියි?

යුද ජයග්‍රණය ගැන දැනුම් දෙන්න එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා දෙදහස් නමයේ මැයි දහනම වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ කතාවක් කළා.

යුද්ධයට විශේෂ කැපකිරීම් කළ හමුදා නිලධාරීන් කිහිපදෙනෙක්ට සහ හමුදා නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසකට එදා පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි ආරාධනය කර තිබුණා.

ලලිත් වෙනුවෙන් මා හට කළ ආරාධනයට අනුවයි එදා මම පාර්ලිමේන්තුවට ගියේ.

ලලිත්ගේ අම්මාත් තාත්තාත් එදා පාර්ලිමේන්තුවට ගියා. එදා අපි පාර්ලිමේන්තුවට ගියේ ලලිත්ගෙයි මගෙයි දුවත් රැගෙන. එතකොට දුව ඉපදිලා මාසයක්වත් නැහැ.

ලලිත් ජයසිංහ අපේ රටේ යුද ඉතිහාසයේ සදාතනික වීරයෙක්. ඔහු දිවි පිදූ මෙහෙයුමට යන්න කලින් අවසන් වරට ඔබට කතා කළ දවස මතකද?

ඔව්, ඒ දිනය අද වගේ මතකයි. එදා මතක ගොඩක් තියෙනවා. මම ඉන් එකක් දෙකක් කියන්නම්. ලලිත් ඒ මෙහෙයුමට යන්න ඔහු හිටිය වවුනියාව කෑම්ප් එකෙන් පිටත්වෙලා මහකච්චිකුඩි කෑම්ප් එකට ගියා. ඒ දෙදහස් අටේ නොවැම්බර් දහඅට වැනිදා. මහකච්චිකුඩි කෑම්ප් එකෙන් තමයි ලලිත්ලා කැලේ ඇතුළට යන්නේ. රෑ දහය හමාරට විතර කෑම්ප් එකෙන් පිටත් වෙන්න කලින් ලලිත් ගොඩාක් වෙලා මාත් එක්ක දුරකථනයෙන් කතා කළා. එහෙම කතා කරන වෙලාවට මම කියනවා ‘සිංදුවක් කියන්නකෝ’ කියලා. ලලිත් එතකොට ගොඩක් වෙලාවට කියන්නෙ ‘මී අඹ වනයේ ගී හඬ පතුරා’, ‘නීල බිඟු කැළ තාම රස කර’ වගේ ගීත. එදත් ඔහු ඒ ගීත දෙක ගායනා කළා.

වවුනියාව කෑම්ප් එකෙන් මහකච්චිකුඩි කෑම්ප් එකට පිටත් වෙන්න කලින් තවත් දෙයක් වෙලා තිබුණා. ලලිත් සාමාන්‍යයෙන් මෙහෙයුමකට යද්දි වෙඩින් රින්ග් එක දාගෙන යන්නේ. එදත් වෙඩින් රින්ග් එක දාගෙන වාහනේටත් නැගලා ආපහු කෑම්ප් එක ඇතුළට ඇවිත් තිබුණා. එහෙම ඇවිත් වෙඩින් රින්ග් එක ගලවලා කඳවුරේ හිටපු කැප්ටන් අබේසේකර අතට දීලා ‘මේක මම තියලා යන්නම්. බැරිවෙලා හරි මේක හීරුණොත්වත් අපේ වයිෆ්ගෙන් මට බැණුම් අහන්න වෙනවා’ කියල තියලා ගිහින් තිබුණා.

ලලිත් අවසන් මෙහෙයුමට පිටත් වුණු දවසෙ රෑ එවක හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා හීනෙන් ඇවිත් ඔබට සැලියුට් කළා කියන කතාව මොකක්ද?

එදා රෑ මම හරි පුදුම හීනයක් දැක්කේ. ඒක පුරන් වෙලා ගිය පාළු කුඹුරු යායක්. මම කුඹුරු යායේ ඉන්නකොට මගේ ඉස්සරහට එකපාරටම ජෙනරාල් සරත් ෆොන්සේකා ආවා. එතුමා ඇඳගෙන හිටියේ ආමි සෙරමෝනියල් යුනිෆෝම් එක. මාව මුහුණට මුහුණ හමුවුණු ගමන් ජෙනරාල් ෆොන්සේකා මට සැලියුට් කළා. ඕක දැක්ක ගමන් මාව ගැස්සිලා ඇහැරුණේ. එතකොට වෙලාව පාන්දර තුනට විතර ඇති. මම ඒ වෙලාවෙ ලලිත්ට කෝල් එකක් ගත්තා. හැබැයි ඔහුගෙ ෆෝන් එක වැඩ කළේ නැහැ.

අවසන් මෙහෙයුමට යන්න කලින් ලලිත් වවුනියාව කෑම්ප් එකෙන් ඔබට අඹ කඩලා එව්වා කියන්නේ ඇත්තද?

ඔය වෙනකොට අපේ දුව මගේ බඩට ඇවිත් මාස හතරක් විතර ඇති. වවුනියාව කෑම්ප් එකේ ලලිත්ගේ කාමරේ වටේටම තිබුණේ අඹ ගස්. පස්සේ කාලෙක මම එතැනට ගියා. එවර අඹ වාරේ සෑහෙන අඹ හැදිලා. කෑම්ප් එකේ අය ලලිත්ට විහිළු කරලත් තිබුණා ‘මේ පාර අඹ ගොඩක් හැදිලා සර්ට බබාලා ගොඩක් ලැබෙයි’ කියලා. ඔය දවස්වල මට ලලිත්ගෙන් රාජකාරිමය ලියුමක් ගෙන්න ගන්න තිබුණා. ඒ ලියුම එවපු ලලිත්ගේ ගෝලයා අතේ තමයි අඹ පෙට්ටියක්ම එවලා තිබුණේ. ලලිත්ම ගස් නැගලා තමයි අඹ කඩලා තිබුණේ.

ඔබට දරුවෙක් ලැබෙන්න යනවා කියලා දැන ගනිද්දි ලලිත් මෙහෙයුමකද හිටියේ?

නැහැ. නිවාඩු ඇවිත් ගෙදර හිටියේ. තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්තම ලලිත් හරියට සතුටු වුණා. ගෙදරදි කරන ටෙස්ට් එකකින් අපි මුලින්ම ඒ ගැන දැනගත්තේ. ලලිත් ඒ වෙලාවෙ කොච්චර සතුටු වුණාද කියනව නම් හතර වටේට කෝල් කර කර යාළුවන්ට මේ ගැන කියන්න ගත්තා. මම ඒ වෙලාවෙ කිව්වා ‘අපි තාම ඩොක්ටර් කෙනෙක් හම්බ වුණෙත් නැහැ, මේක හරිද දන්නෙත් නැහැ, ඔයා හැමෝටම කියනවා’ කියලා. ‘නෑ.. නෑ... බයවෙන්න එපා ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ’ කියලා එතකොට ඔහු කිව්වා.

දුව දැන් තාත්තා ගැන අහද්දි ඔබ මොනවද කියන්නේ?

මම ඒ වෙලාවට කියනවා තාත්තා හැමවෙලේම ඔයා ළඟ ඉන්නවා, තාත්තා නැහැ කියලා හිතන්න එපා කියලා. ඔයත් මමත් ඇතුළුව මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න තාත්තා කළේ සුවිශාල කැපකිරීමක් කියලා මම දුවට කියලා දෙනවා.

දුව දැන් මොකද කරන්නේ?

ඇය පාසල් ආධ්‍යාපනය ලබනවා. දුව හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.

ලලිත්ට ඔබව හිමිවීමත්, ඔබේ ජීවිතයේ සිද්ධි එකිනෙක සිහිපත් කරද්දිත් අපට හිතෙන්නේ ඒ කිසිවක් අහඹු සිදුවීම් නෙමෙයි කියලා?

ඔව්. මටත් එහෙම හිතෙනවා. ලලිත් ඉපදිලා තියෙන්නෙ එක්දහස් නමසිය හැත්තෑ හයේ අප්‍රේල් විසිනම වැනිදා. යුද්ධයේ ආරම්භයට පසුබිම හැදිලා තියෙන්නේ හැත්තෑ හයේ මැයි මාසේ. එහෙම බැලුවාම ලලිත් ඉපදෙන්නෙම යුද්දෙත් එක්ක. අනාගතයෙදි යුද්දෙ බැරෑරුම් වගකීමක් ඔහුට ඉටු කරන්න වෙනවා කියන එක ඒ දවස්වලම ලලිත්ගේ ජීවිතයේ ලියැවෙන්න ඇති. ලලිත්ට ජීවිතය අහිමි වෙන්නෙ යුද්දෙ ඉවර වෙන්න මාස කීපයක් ඉතිරිවෙලා තියෙද්දි. ඔය දේවල් බලද්දි මට හිතෙන්නෙ ඔහු යුද්ධය වෙනුවෙන්ම උපන් අයෙක් කියලා.

අනෙක් අතට මම ලලිත්ගෙ බිරිඳ වෙන්න ඇත්තෙ ඔහු වෙනුවෙන් මගේ වගකීම් කොටස ඉටු කරන්න. ඔහු නැතිවෙලා දැන් අවුරුදු දාහතක් ගෙවිලා. ඒත් අදටත් මම පුළුවන් උපරිමයෙන් ඔහුව ජීවත් කරවනවා. ඔහු වෙනුවෙන් මම අපේ දුවවත් බලාගෙන හොඳින් ජීවත් වෙනවා. මේ හැමදේම බලද්දි ඔබ කිව්වා වගේ මටත් හිතෙන්නෙ අපේ හමුවීම අහම්බයක් නෙමෙයි කියලා.

ඔබයි ලලිතුයි විවාහයට ලෑස්ති වුණේ කොහොමද?

දෙදහස් අටේ ජනවාරි එකොළහ ගෝල් ෆේස් හොටෙල් එකේ අපේ වෙඩින් එක ගත්තේ. දෙදහස් හතේ මැයි පහ ලලිත් මාස හයක පුහුණුවකට ඇමරිකාවට ගියා. ඒ යන්න කලින් හොටෙල් එක බුක් කරලා වෙඩින් එකේ මූලික දේවල් ටික අපි දෙන්නා සැලසුම් කරගත්තා. ලලිත් ඇමරිකාවෙ ඉන්නකොට මට කිව්වා වෙඩින් එක වෙනුවෙන් කරන හැමදෙයක්ම සටහන් කරගෙන ෆයිල් එකක තියාගන්න කියලා. ඔහු කියපු විදිහටම මම අපේ වෙඩින් එක ගැන ෆයිල් එකක් නඩත්තු කළා. රට ඉඳලා ආවට පස්සේ ලලිත් ඒක බලලා තමයි මම වෙඩින් එක වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන අවබෝධයක් ගත්තේ.

ලලිත්ගෙ මල්ලිගෙ වෙඩින් එකයි අපේ වෙඩින් එකයි දෙකම එකට තිබුණේ. එයා ලලිත්ගෙ මල්ලි වුණාට මට වඩා වැඩිමල්. යුද හමුදාවෙ විශාල පිරිසක් එදා ඇවිත් හිටියා. ලලිත්ගෙ මල්ලිත් සේවය කළේ යුද හමුදා විශේෂ බළකායේ. එදා ගෝල් ෆේස් හෝටලේට විශේෂ ආරක්ෂාවක් යොදලා තිබුණා.

මට පස්සෙ තමයි තේරුණේ එච්චර ආරක්ෂාවක් එදා යොදාල තිබුණේ ඇයි කියලා. අපේ විවාහයට ලලිත්ගෙ සාක්ෂිකරුවා විදියට අත්සන් කළේ මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා. වෙඩින් ස්පීච් එක කළේ පසුව යුද හමුදාපති වුණු මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක. ඔවුන් දෙන්නාම විශේෂ බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්. ජෙනරාල් සේනානායක ඔහුගෙ ගැඹුරු හඬින් ‘ලලිත් ඇන්ඩ් කෞෂල්‍යා’ කියලා සුබ පතපු විදිහ තාම මගේ කන්වල තියෙනවා.

විවාහයෙන් පස්සෙ ලලිත් මුලින්ම රාජකාරියට ගියේ කවදද?

ජනවාරි විසිපස් වැනිදා ගියේ. ලලිත් එදා සංවේදී වුණේ නැහැ. සාමාන්‍ය විදියට රාජකාරියට පිටත්ව ගියා. එදා ගියාට පස්සෙ ලලිත් මුලින්ම එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ මෙහෙයුමකට ගියේ පෙබරවාරි විසිපස් වැනිදා. මම ඒ කාලෙ ඕවා දැනගෙන හිටියෙ නැහැ. පස්සෙ කාලෙක තමයි දැනගත්තේ. ඒ විදිහට එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ මෙහෙයුමකට යද්දි ලලිත් මට කියන්නෙ ඩන්කා ගහන්න යනවා කියලා. ‘මම ඩන්කා ගහන්න යනවා කියලා කිව්වොත් ආපහු මම කතා කරනකම් මට කෝල් කරන්න එපා’ කියලා ඔහු මට කියලා තිබුණේ. එහෙම දවස්වලට හදිසියක දී කතා කරන්න ලලිත්ගෙ කඳවුරේ කෙනෙක්ගෙ දුරකථන අංකයක් මට දීලා තිබුණා.

එදා දින කිහිපයක් එකදිගට කතා නොකර ඉද්දි ඔබට බය හිතුණෙ නැද්ද?

හිතට ලොකු බයක් ඇති වුණු පුවත්පත් ලිපියක් මට කියවන්න ලැබුණා හරියටම ඔය දවස්වල. ඒ ලිපියෙ තිබුණෙ විවාහයෙන් පස්සෙ මුලින්ම රාජකාරියට ගිය හමුදා නිලධාරියෙක් මෙහෙයුමක් අතරතුර මියගිය කතාවක්. ඒ ලිපිය කියවලා මගෙ හිතට ලොකු තිගැස්මක් ඇති වුණා. ලොකු මානසික පීඩනයක ඒ දවස්වල මම හිටියේ.

ලලිත් නිවාඩුවට ගෙදර ආවහම ඔහුගෙ ආරක්ෂාව ගැනත්, ඒ වගේම ඔබේ ආරක්ෂාව ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වුණු බව ඔබට දැනිලා තියෙනවද?

මට ඒ දවස්වල ඕක හරිම ප්‍රශ්නයක් වුණා. මොකද ලලිත් නිවාඩුවට ගෙදර එනකොට ඔහුගෙ ආරක්ෂාවට හමුදා සෙබළු හතර දෙනෙක් එනවා. කොළ පාට ලෑන්ඩ් රෝවර් එකක තමයි එන්නේ. ඔය වෙනකොට ලලිත් කැප්ටන් කෙනෙක්. හැබැයි කැප්ටන් කෙනෙක් ගෙදර එද්දි එහෙම ආරක්ෂකයො දෙන්නෙ නැහැ. ඒ නිසා මට ඒක හරිම ප්‍රශ්නයක් වුණා.

ඔබ ඒ ගැන ලලිත්ගෙන් ඇහුවෙ නැද්ද?

ලලිත්ගෙන් ඇහුවට ඔය ගැන කියන්නෙ නැහැ. හැබැයි ඔහුගෙ ආරක්ෂාවට ආපු සෙබළෙකුගෙන් ඔය ගැන අහන්න පුළුවන් වෙන විදිහේ සිදුවීමක් දවසක් වුණා. එදා ලලිත් නිවාඩුවට ගෙදර ඇවිත් හිටියේ. ඔහු කොණ්ඩෙ කපාගන්න හන්දියට යන්න බයික් එකට නැග්ගා. ලලිත්ගෙ ආරක්ෂාවට හිටිය සෙබළෙක් ඒ වෙලාවෙ පිස්තෝලෙත් ඉණේ ගහගෙන බයික් එකේ පිටිපස්සට පැන්නා. ඒක ට්‍රේල් වර්ගයේ බයික් එකක්. හිමින් සැරේ ඉදිරියට යමින් තිබුණු බයික් එකට තමයි අර සෙබළා ගිහින් පැන්නේ. අනෙක ඔහු එහෙම බයික් එකේ පිටිපස්සෙන් වාඩි වුණේ ලලිත්ගෙ කිසිම අවසරයකින් තොරව.

කොණ්ඩෙ කපාගෙන ආවට පස්සේ මම අර සෙබළගෙන් ඇහුවා ‘ඇයි ලලිත්ව මෙච්චරටම ආරක්ෂා කරන්නේ’ කියලා. එතකොට ඔහු කිව්වා ‘අපේ සර් හරිම වටින කෙනෙක්. අපි එයාව ආරක්ෂා කරගන්න ඕනි. ඊට වඩා දෙයක් අහන්න එපා මැඩම්’ කියලා.

විවාහයෙන් පස්සෙ ලලිත්ට ඔබත් එක්ක ජීවත් වෙන්න ලැබුණෙ කෙටි කාලයක් වුණත් ඔහු ඉතිරිකර ගිය මතක රැසක් ඇති?

ඔව්. එහෙම මතක නම් සෑහෙන තියෙනවා. ඉන් එකක් තමයි පිස්තෝලෙ උණ්ඩ අයින් කරලා කොට්ටෙ යටින් තියන එක. ලලිත් නිවාඩුවට ගෙදර එනකොට ඔහුගෙ ආරක්ෂාවට පිස්තෝලයක් දීලා තිබුණා. රෑට නිදාගන්න ගියහම ඔහු ඒකෙ උණ්ඩ ටික අයින් කරලා උණ්ඩ ටිකයි, පිස්තෝලෙයි තියන්නෙ කොට්ටෙ යටින්.

ඔබට බය හිතුණෙ නැද්ද එතකොට?

පළමුවැනි දවසෙ නම් සෑහෙන බය හිතුණා. මුල් දවස් ටිකේම පොඩි බයකින් නිදාගත්තේ. ඊට පස්සේ ඒ බය නැතිවෙලා ගියා. අන්තිමට මම ගොඩක් කැමති වුණා පිස්තෝලෙ කොට්ටෙ යට තියෙනවට. මොකද පිස්තෝලෙ කොට්ටෙ යට තියෙනවා කියන්නේ ලලිත් ගෙදර ඉන්නවා කියන එක.

ලලිත් අන්තිම නිවාඩුවට ආපු වෙලාවෙ වෙච්ච විශේෂ සිදුවීම් තියෙනවද?

එක සිදුවීමක් තියෙනවා. මට පස්සේ කාලෙක තමයි හිතට ආවෙ ඒක පුදුම සිදුවීමක්නෙ කියන එක. වවුනියාව මඩුකන්ද පන්සලේ වැඩසිටින විමලසාර හාමුදුරුවෝ දාපු සුර දෙකක් තිබුණා ලලිත්ගෙ බෙල්ලේ. ලලිත් මට කීපසැරයක් කියලා තියෙනවා ‘මේ සුර දෙක තියෙනකම් මාව ගලේ ගහලවත් මරන්න බෑ’ කියලා. අපේ කේන්දර බලලා විවාහයට නැකැත් හදලා දුන්නෙත් උන්වහන්සේ. අන්තිම නිවාඩුවට ඇවිත් ආපහු යන දවසේ උදේ නැගිටිද්දි ඒ එක සුරයක් ගැලවිලා මෙට්ටෙට වැටිලා තිබුණා. මම උදේ නැගිටිද්දි දැක්කෙ ලලිත් ඒක නැවත සකස් කරගන්න හැටි.

ඔබ පසු කාලෙක ලලිත් මියගිය තැනට ගියාද?

ඔව්. යුද්ධය අවසන් වෙලා කාලයක් ගියාට පස්සේ මමත් අපේ දුවත් ලලිත්ගෙ අම්මත් එතැනට ගියා. යුද හමුදාවෙන් තමයි අපව එතැනට එක්කර ගෙන ගියේ. ලලිත් මියගිය තැන හොයා ගන්න එදා යුද හමුදා නිලධාරීන් ජීපීඑස් තාක්ෂණයත් උදව්කර ගත්තා.

මාන්කුලම් පාරේ ඉදන් කිලෝමීටර් 2.4ක් කැලේ ඇතුලට අපි ගියා. අපි පිටත් වුණේ දවල් දෙකට විතර. ඒක මහ විශාල වනාන්තරයක්. වටේටම ගස්. දිය පාරවල් එහෙමත් තිබුණා. එයාල ඒ දියපාරවල්වලින් වතුර බොන විදිහ ඉස්සර කියල තිබුණා. ඒවා මතක් වුණා ඒ කැලේ යද්දි. ලලිත් මියගිය තැන වැඩිය ගස් තිබුණේ නැහැ. එයාගේ අවසන් ලේ බින්දුවත් ඒ පස් අතරේ ඇති නේද කියල මට සිහිවුණා.

එයාගේ අවසන් සුසුමත් ලේ බින්දුවත් මුසු වුණු ඒ කැලේදි දියණිය මම ලලිත් පළමු වතවට මුණගැහුනා වගේ හැගීමක් මට දැනුණා.

මම එතනින් පස් ටිකක් අරන් ආවා. අදටත් මගේ ගෙදර ඒ පස් ටික මගේ ළග සුරක්ශිතයි. ලලිත් මියගිය තැන අපි ගස් කිහිපයකුත් හිටෙව්වා.

ආපහු එද්දි කැලේ මැදදි එකපාරටම මහ රෑ වගේ කළුවර වුණා. ළඟ හිටපු අයවත් නොපෙනෙන තරමට ඒ කළුවර දැඩි වුණා.

ඒත් අපි කැළෙන් එලියට එද්දි හොඳටම එළියයි. වෙලව පහමාරට හයට වගේ සාමාන්‍ය විදියට ආලෝකය තිබුණා. කැළේ මැද එද්දි හමුදා නිලධාරීන් එකපාරටම කිව්වා අපට ශබ්ද නැතිව එන්න කියලා. ඔවුනුත් ඒ වෙලාවේ තරමක තැතිගැන්මක හිටියේ. ඔවුන්ගේ ගිනි අවි පවා සූදානම්කර ගත්තා. කැළෙන් එළියට ආවට පස්සෙ තමයි කිව්වේ අලි අපි ළඟටම ආවා කියලා.

කැළේදි අලි ආපු කතාව කියල නැත්තෙ අපි බය වෙයි කියල හිතලා. ඒ අපි එක දවසක් යුද්දේ ඉවර වෙලා ගිය අත්දැකීම. අපිට ගිණිඅවි මානගෙන ඒ කාලේ ත්‍රස්තවාදීන් නොසිටියත් අපි තැතිගැන්මක ගියේ. එවකට කොටි අවියක් වුණු ඒ කාලේ සතුරෝ සිසීකඩ ඉන්න කැලේ ඇතුලේ කොයි වෙලේ ජීවිතේ අහිමි කරන උණ්ඩයක් වදීද කියන සැකෙන් කිලෝ තිහ හතලිහක පැක් එකක් එල්ලගෙන වැස්සේ තෙමි තෙමි එයාල මේ කැලේ කොච්චර නම් එහා මෙහා යන්න ඇතිද. ඒ ඇත්තටම හමුදාවෙන් ලැබුණු වැටුපට නෙමෙයි කියන එක කාටත් අවබෝධ වෙන්න ඕනි.

යුද්ධය අවසන් වෙලා දැන් අවුරුදු දාසයක්. ඔබට දැන් මොනවද හිතෙන්නේ?

යුද්ධයේ බිහිසුණුම කාලේ ඒ අත්දැකීම් අපි ඕනෙවටත් වඩා වින්දා. ලලිත් හමුදාවට ගියේ වෙන රැකියාවක් කරන්න බැරි කමට නෙමෙයි. යුද්ධය අවසන් කරලා රටට සාමය ගේන්න ඕනෑ කියන ඒකායන පරමාර්ථයෙන්. ලලිත් නොපිරිහෙලා ඒ යුතුකම ඔහුගේ අවසාන ලේ බිඳුව දක්වාම ඉටුකළා. ඒවා අපි ඇස්වලින් දැක්කා කන්වලින් ඇහුවා. ඒ නිසා වෙන්න ඇති අපිට මේ රට ගැන විශාල කැක්කුමක් තියෙනවා. යුද්දේ ඉවර වෙලා අපි බලාපොරොත්තු වුණු සංවර්ධනය මේ රටේ සිදුවුණේ නැහැ. ඒ ගැන විශාල කනගාටුවක් තියෙනවා. මොකද ලලිත් ඇතුළු රණවිරුවන් ජීවිත කැපකරලා මේ රට බේරලා දුන්නේ ඒ බලාපොරොත්තුවෙන්.

මොකද ඔවුන් ජීවිත කැපකරලා මේ රට බේරල දුන්නේ ඒ බලාපොරොත්තු වෙන්. ලලිත් එයාගෙ ජීවිතේ පෞද්ගලික අභිලාෂ සියල්ල කැප කළේ රට වෙනුවෙන්. ජීවිත දානයෙන් අවසන් කළ ඒ කැප කිරීම මල්ඵල ගැන්වෙද්දි ඔහු මිහිපිට නොසිටියත් මගේ සැමියා මෙන්ම රට වෙනුවෙන් මියගිය හා ආබාධිත වූ දහස් ගණන් විරුවන් අපේක්ෂා කළ මාතෘ භූමියේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය රැකගැනීම තමයි ඒ අයට දක්වන්න පුළුවන් ඉහළම ගරුත්වය සහ ඇගයීම.

රණවිරු බිරිඳක් විදිහට මම හිතනවා මා මෙන්ම සෑම රණවිරු බිරිඳකගේම රට පිළිබඳ ඇති ඒකායන අභිලාෂයත් එයයි කියලා. රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රැකදුන් රට ආරක්ෂා කිරීම කාගේත් වගකීමක්.

ඔබ තනිකඩ වුණේ යුද්ධය අවසන් වීමට වසරකට කලින්. ඒ කියන්නේ දහහත් වසරක් පුරා ඔබ තනියම...

ඔව්. අනිවාර්යයෙන්ම. ලලිත් භෞතිකව නැති වුණාට හැම මෙහොතකම මගේ හදවතේ ජීවත් වෙනවා. හැම මෙහොතකම ඔහු ළඟින් ඉන්නවා මට දැනෙනවා. ලෝකයට ලලිත් මියගිය කෙනෙක් වුණාට මමත් කවදාහරි මැරෙනකම් ඔහු මාත් සමග ජීවත් වේවි.

උපුටාගැනීම
හසිත කුරුප්පු
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top