හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක පසුගිය සිකුරාදා දින අභාවප්‍රාප්ත වුණා.
පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු කලක සිට ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.
සඳ කිඳුරු කිඳුරියන්, මාගේ කිරිල්ලී, කුරුළු පොඩිත්තෝ, ඔහු විසින් එලෙස ගායනා කළ එවැනි ගීත කිහිපයක්.
මෙම ගායකයාගේ වියෝව ගැන සඳහන් කරමින්, ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු වන දයාන් විතාරන සිය ෆේස්බුක් ගිණුමෙහි තබා තිබුණේ, මෙවන් සටහනක්...
මගේ කිරිල්ලී සොයා යන්නේ මා කියා ගැයුවද කිරිල්ලියටත් රහසේ ඔහු අපෙන් නික්ම ගිය වග මෙසේ සංවේගයෙන් දැනුම් දෙමි ..........................
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මෙන්ම ප්‍රතිභාපූර්ණ ගායකයෙක් ද වූ අනුර සේනානායකයන් ඊයේ (26) දින සිය දිවි ගමන හමාර කළේය.
දකුණු පළාතේ උපත ලැබූ අනුර සේනානායකයන්, මාතර ශාන්ත සර්වේෂස් විදුහලෙන් සිප්සතර හදාරන ලදී. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව 1973 වසරේදී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්ව තිබුණේ ඔහුගේ පියාණන් ද පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු සැරයන්වරයෙක් වූ නිසාවෙනි.
එතුමා වසර 42ක දීර්ඝ සේවා කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කොට විශ්‍රාම ලබනුයේ 2015 වර්ෂයේදී ය. විවිධ පොලිස් ස්ථානවල විවිධ තනතුරු දරමින් සේවය කරන අතවාරයේ ශ්‍රී ලංකා පොලිසිය තුල විවිධ වැඩසටහන් සංවිධානය කරමින්, වෘත්තිමය ඒකාකාරී බවින් තම නිලධාරීන්ට වෙනසක් ලබා දීම ඔහුගේ මෙහෙවර තුළ කැපීපෙනෙන ගුණාංගයකි.
වචනාර්ථයෙන්ම රසවතෙක් වූ ඔහු සතු වූ ගායන හැකියාව ඉස්තරම් විය. 1985 වසරේදී ගුවන්විදුලියේ 'ඒ' ශ්‍රේණියේ සරල ගී ගායකයකු ලෙස සමත් වූ ඔහු ඔහුගේ පළමු සරල ගී වැඩසටහන සඳහා එක් කල ගීත විවිධ විෂයයන් අළලා රචනා කර ගනිමින් ගායනා කරන්නට කල්පනා කළේය. ඔහු ගීත 22 ක් පමණ සංගීත රසික සහෘදයන් වෙත තිලින කලේය. ගායනයෙන් පෙන්වූ දක්ෂතා හේතු කොට ඔහුට විවිධ ආරාධනා ලැබිණ.
ජයන්ත ගමගේ විසින් ලියා සංගීතවත් කළ "මාගේ කිරිල්ලී සොයා යන්නෙ මා..............." නැමැති ගීතය ඔහු ගැයූ ජනාදරයට පත් ගීතයකි. බොහෝ විට අද අනුර සේනානායකයන් පොලිස් නිලධාරියෙක් ලෙසින්ම මාධ්‍ය විසින් ඉස්මතු කරමින් අවසන් බුහුමන් සටහන් පළ කළද අනුර නම් කලාකරුවා ඊටත් වඩා පෘථුල වපසරියක විහිදුණු කෙනෙකි.
විශේෂයෙන්ම ගායක ගායිකාවන්ගේ සංගමය වෙනුවෙන් ඔහු කළ මෙහෙවර අතිමහත් ය. මා ඔහුගේ මුල්වරට අලේඛ්‍ය ඡායාරූප ගනු ලැබුවේ ද 2013 වසරේ පැවැත්වුණු අප ගායක ගායිකා සංගමයේ ප්‍රසංගයකදී වන අතර එම ඡායාරූප මේ සමග පළ කරමි.
ඊයේ දින සිය දිවි සැරිය නිමා කළ ඔහු හෙට දින දැයෙන් සමුගන්නේය. ආදරණීය චරිතයක් වූ අනුර සේනානායකයන්ට නිවන් සුව දොරටු වැඩි ඈතක නොවේවායි පතමි !!!