ත්‍රිකුණාමලය වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ බව පැවසූ ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු මේ වනවිට මියන්මාර අත්අඩංගුවේ පසුවන බව වාර්තා වනවා.
පසුගිය 11 සහ 12 යන දෙදින තුල මොවුන් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනාව මතයි.
කෙසේ වෙතත්, මෙම ධීවරයන් අතුරුදන්ව ඇති බවටත්, ඒ පිළිබඳව අවධානය යොමුවී නොමැති බවටත් පසුගියදා වාර්තා පළ වුණා.
මියන්මාර අත්අඩංගුවේ පසුවන ධීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශය අමතා ඔවුන් මුහුණ දී ඇති ගැටලුව පැහැදිලි කළා.
එහිදී ඔහු කියා සිටියේ තමන් ගමන් ගත් යාත්‍රාව දියවැලකට හසුව මියන්මාරය දෙසට ගසාගෙන ගිය බවත් තමන් මුදා ගැනිම සඳහා ශ්‍රී ලංකා රජයෙන් මෙතෙක් කිසිදු මැදිහත්වීමක් නොවූ බවයි.
ඒ අනුව, මයෝමි සහ සාගර කුමාර 4 යන යාත්‍රා දෙක ධීවරයින් සමඟ මියන්මාර අත්අඩංගුවේ පසුවනවා.
ධීවරයන් 12 දෙනාගෙන් කිහිපදෙනෙකු මාතර - දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත්, තමන් රඳවා සිටින ස්ථානය පැහැදිලිව ප්‍රකාශ කිරීමට ධීවරයන්ට නොහැකිවුණා.
මේ වනවිට මියන්මාරය හමුදා පාලනයක් යටතේ පවතින අතර, හිරු ප්‍රවෘත්ති අංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වාගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු පැවසුවේ මෙම ධීවරයන් මුදා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු විදේශ අමාත්‍යාංශය හරහා මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි.
අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදුවන බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල්, මහාචර්ය ජයනාත් කොළඹගේ ද තහවුරු කළා.
එසේම, ඉන්දියානු සාගර කලාපයට ගසාගෙන ගොස් තිබියදී එරට වෙරළාරක්ෂකයන් විසින් මුදා ගත් මෙරට යාත්‍රාවක් සහ ධීවරයන් දෙදෙනෙකු නාවික හමුදාව අද නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ආවා.
පසුගිය 23 වනදායි මන්නාරම සවුත් බාර් ප්‍රදේශයෙන් ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණේ.
අනතුරුව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ඔවුන් මුදා ගෙන තිබූ අතර, ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ධීවරයින් දෙදෙනා සහ යාත්‍රාව නාවික හමුදාවේ සුරනිමල නෞකාවට භාර දී තිබුණා.